වෙද පරපුරක ඇති අභිමානය හා විශ්වසනීයත්වය එම පරපුර ලබා ඇති අත්දැකීම් සම්භාරයයි. එමෙන්ම රෝගීන් පවසන ගුණදොස් විවේචනයයි. මේ ගුණදොස් හා විවේචන සුබවාදී වී නම් එම පරපුරේ ප්‍රතිකාරයන් අතිසාර්ථකත්වයක් ගන්නා බව සක්‌සුදක් සේ පැහැදිලිය.
තමරා ප්‍රියන්ති මංගලිකා වෙදැදුරුවරියගේ පරපුරද මෙම ගණයෙහි ලා සැලකීමට අපට ඕනෑතරම් සාක්‍ෂි ඇත. එම සාක්‍ෂි අප රෝගීන්ගෙන්ම ලබාගත් ඒවා වීම මෙහි ඇති විශේෂත්වයකි. ඇයගෙන් ප්‍රතිකාර ගත් ඇතැම් හදවත් රෝගියකු අප හා පැවසුවේ රුපියල් ලක්‍ෂ ගණනක වියදමකින් සැත්කම් කර ජීවිත අවදානමක් ගන්නවාට වඩා මේ දේශීය වෙදකම තුළින් තවත් කාලයක් සිතේ සැනසීමකින් ජීවත්වීමට හැකියාවක් ලැබෙන බවයි.
මෙම ප්‍රකාශයන් රෝගියකුගෙන් පිටවන්නේ ඇතැම්විට පළමු බෙහෙත් පත්තියෙන් විය යුතුය. ඒ වගේම ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්‌ථාවේ දෙන උපදෙස් පිළිපැදීමෙන් විය යුතුය. කෙසේ වෙතත් ඇතැම් බටහිර වෛද්‍යවරු මෙවන් රෝගීන්ගේ චිත්ත ධෛර්ය බින්දුවට බස්‌සවන්නේ දැන හෝ නොදැන දැයි අපි නොදනිතත් එතුළින් රෝගියා භාගයට මිය යන බව නම් දනිමි.
පසුගිය දිනෙක මගේ සමීපතම භික්‍ෂූන් වහන්සේ නමකගේ සුවදුක් විමසන්නට රත්මලාන පැත්තේ විහාරස්‌ථානයකට ගියෙමි. බෝ නොවන රෝග රැසකින් පෙළෙන උන්වහන්සේට මෑතක සිට හදවත් රෝගයද වැළඳී තිබුණේ ජීවිතයේ අනියත බව වඩාත් තහවුරු කරන්නාක් මෙන්ය.
එහෙත් මේ කිසිවක් උන්වහන්සේ එතරම් ගණන් නොගත්තත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නම් නතර කළේ නැත.
මගේ මේ තියෙන රෝගවලට අමතරව හදවත් රෝගයකුත් ආපුවාම මරණයට මුහුණ දීමේ කාලය දැන් ඇවිල්ලයි කියලා මට හිතුණා. ඒත් වෛද්‍යවරු එකහෙලාම හදවත් සැත්කමක් ඉක්‌මනින්ම කළයුතු යෑයි යෝජනා කළ නිසා මමත් ඒකට සූදානම් වුණා. කොහොම කොහොම හරි මට දීපු දිනයට මම ඒ රෝහලට ගියේ කල්වේලා ඇතිව.
සාත්තු සේවකයන් මම ඔපරේෂන් එකට සූදානම් කරන්න එතරම් වේලාවක් ගත්තෙ නැතත් ඔපරේෂන් එකට නියම කරපු වෙලාව නම් පහුවෙලා පැය දෙකතුනක් වුණා. අන්තිමේදී මම ඉන්න බැරිතැන මම අර සාත්තු සේවකයකුගෙන් විමසුව ඇයි මෙච්චර ප්‍රමාද කියල.
මෙතෙන්දී මහ පුදුම උත්තරයක් තමයි මට ඒ සාත්තු සේවකයා දුන්නේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉස්‌සර වෙලා ඔපරේෂන් එකට ගත්ත හදවත් රෝගීන් දෙදෙනකුව ගොඩදාන්න බැරිව අන්න අරහේ දොස්‌තර මහත්තුරු සේරම දඟලනවා. ඒකයි මේ ප්‍රමාදය කියල කිව්වා.
මේ ප්‍රකාශයෙන් මට තිගැස්‌සීමක් හෝ මරණ බියක් ඇති නොවුණත් සැත්කමේ කිසිම විශ්වාසයක් තබා ගන්න බැරි බව නම් මට වැටහුණා. ඒක නිසා සියල්ලෝම එපා කියද්දී මගේ සිය කැමැත්තෙන්ම ටිකට් එක කපාගෙන ආවෙ තවත් සැත්කමක් කරන්නෙ නම් නැහැයි කියලයි. මේ සිදුවීම වෙලා දැනට වසර දෙක තුනක් වෙනවා. එදා හැකි ඉක්‌මනින් කරන්න කියලා කියපු සැත්කම කළා නම් සමහරවිට මගේ ජීවිතය නැතිවෙන්නත් තිබුණා.
මෙම සිදුවීම මම තමරා ප්‍රියන්ති මංගලිකා වෛද්‍යවරියටද කීවෙමි. ඇය ඊට කිසිවක් නොකීවත් දේශීය වෙදකමේදී දෙන උපදෙස් නිසියාකාරව පිළිපදිමින් ප්‍රතිකාර ලබා ගන්නවා නම් හදවත් රෝගයක් එතරම් අවදානමක් ගත යුතු එකක් නොවේ යෑයි කීය.
පසුගිය ලිපියකින් හදවත් රෝග වැළඳෙන්නේ කෙසේදැයි මා ඇසූ ප්‍රශ්න කිහිපයකට අති සාර්ථක පිළිතුරක් සැපයූ ඇය හදවත් රෝගයක් වැළඳීමෙන් පසු කළයුතු කාර්යයන් ගැනද විස්‌තරයක් කළාය.
යම් අයකුට හදවත් රෝගයක් වැළඳුණාම හෘද පේෂිවලට ඇති වූ තුවාල සුවවීමට හෘද වස්‌තුවට විවේකයක් අවශ්‍යයි. මෙතනදී කළයුත්තේ හදවත විසින් කළ යුතු ක්‍රියාකාරකම් අඩුකිරීමයි. ඒ සඳහා කායික මානසික සුවය අදාළ ඖෂධ ලබාදීම සහ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් තියනව නම් එම රෝග මනාව පාලනය කිරීම ඉතාම වැදගත්. කෙසේ වෙතත් හදවතටත් ආබාධයක් වැළඳුණ දින සිටම ක්‍රමානුකූලව තම දින චර්යාව පවත්වාගත යුතුයි. එතුළින් රෝගයේ භයානක තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.
අපි මේක තවත් විස්‌තර කරනව නම් හදවතේ රෝගය වැළඳුණු පළමු පැය 72 තුළදී රෝගියා ඇඳක් මත සම්පූර්ණයෙන්ම විවේකීව සිටීම අනිවාර්යයි. මළ පහ කිරීම, මුත්‍රා කිරීම වැනි ශාරීරික අවශ්‍යතා ඇඳ මතම සිට කළ යුතු අතර එළවළු සුප්, කැඳ වතුර, පලතුරු යුෂ වගේ දියරමය ආහාරයක් වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ගත යුතුය. ඒවගේම මෙම කෙටි කාලය තුළ වෛද්‍යවරයා උපස්‌ථාදායකයෝ මෙන්ම ඖෂධයන්හිද නිරන්තර පාලනයක් රෝගියා කෙරෙහි අනිවාර්යයෙන්ම යොමුවිය යුතුයි.
ඉන් පස්‌සේ මේ පැය 72 අවසන් වුණාට පස්‌සෙ හතරවන දිනයේදී රෝගියා හාන්සි පුටුවක වාඩිකරවූවාට වරදක් නෑ. ඊට පස්‌සෙ මීටර දෙක තුනක් උදේ හවස ආධාරකයක් මාර්ගයෙන් ඇවිදින්න යොමුකළාට වරදක් නෑ. ඒ වගේම ආහාරමය වශයෙන් දියර වර්ග සමඟ ජෙලි, බිස්‌කට්, පාන් පෙති දෙක තුනක් දෙන්න සුදුසුයි. මෙයාකාරයෙන් පස්‌වන දිනය වන විට මුහුණ සේදීම, ආහාර ගැනීම වගේ එදිනෙදා කටයුතුවල යෙදීම රෝගියාට සුදුසුයි. ඊටත් පස්‌සේ දිනකට තුන් වතාවක් වගේ ඇඳ වටේ ඇවිදීම වගේම ආහාර සඳහා තැම්බූ මාළු සහ එළවළු බත් පීරිසි භාගයක් දීම එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
හය වන දිනය වන විට රෝගියාගේ එදිනෙදා කටයුතු තවත් අයකුගේ ආධාරයෙන් කරන්න පුළුවන්. මේ කාලය තුළ මීටර් දහයක් පහළොවක් පමණ සෙමින් ඇවිදීම අහිතකර වෙන්නේ නෑ. නමුත් පඩි නැගීම, කඳු නැගීම වැනි වෙහෙසකාරි ක්‍රියාවල නොයෙදීමට වගබලාගත යුතුමයි.
මෙහිදී තුන්වැනි සතිය ආරම්භයත් සමඟ ඉතා සුළු සුළු වැඩ කළාට වරදක් වෙන්නේ නැහැ. ඒ වගේම ගෙවත්තේ ඇවිදීම, සැහැල්ලු ආහාර ගැනීම ප්‍රශ්නයක් නැතිවා වගේම තෙල් සහිත ආහාර ගැනීම හැකිතාක් දුරට අවම කර ගත යුතුයි. මේ වන විට තනිව ක්‍රියාකළ හැකි වූවත් දිය නෑමේදී වතුර ඇදීම වැනි වෙහෙස ක්‍රියා මාස තුන හතරක්‌වත් යනතුරු ප්‍රමාද කළ යුතුමයි. මේ වගේ අවස්‌ථාවලදී තනිව ක්‍රියාකළ හැකි වූවත් ප්‍රවේශම් වීම ඉතාමත් හොඳයි. අනිත් කාරණය තමයි හෘද රෝගියෙක් මඳ රස්‌නය තිබෙන වතුර පාවිච්චි කිරීම ඉතාමත් සුබදායකයි. හෘදයාබාද වැළඳී සති 10 ක් 12 ක් පමණ කාලෙකින් පස්‌සෙ එදිනෙදා කටයුතුවල සුපුරුදු පරිදි යෙදුණාට කමක් නැත. මේ අතරතුර දිනපතා ව්‍යායාම වශයෙන් විනාඩි 20 ක් 30 ක් පමණ ඉක්‌මන් ගමනින් ඇවිදීම සුදුසු වුවත් ලොකු බරක් එසවීම කොහොම වත් නොකළ යුතුයි.
අනික ඕනෑම අවස්‌ථාවක තම පපුවේ වේදනාවක්, බර ගතියක් දහදිය දැමීමක්, කරකැවිල්ලක්, හුස්‌ම ගැනීමේ අපහසුතාවක් තිබෙනවා නම් වහාම තමා කරමින් සිටිය කාර්ය නතර කර විවේක ගත යුතුයි. ඒ වගේම ඒ මොහොතේම හැකි ආකාරයකින් බෙහෙතක් ලබාගැනීම ඉතාමත් යෝග්‍යයි.
මේ කාලය තුළ කළ යුතු කාර්යභාරයත් තමා තුළ ජීවත්වීමේ අරමුණ ස්‌ථිර කර ගැනීමත් යහපත් මානසික හා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීමත් තමා විසින්ම ඇතිකර ගැනීම ඉතාම ප්‍රායෝගිකයි.
ගොඩක් වෙලාවට හදවත් රෝගියෙක් මානසිකව වැටෙන්න එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. මේකට තවත් එක හේතුවක් තමයි සමාජයෙන් මතුවන ආකල්ප. ඒ ආකල්ප කිසිවක් සිතට ගත යුතු නැහැ.
මම මෙහිදී බටහිර වෛද්‍ය විද්‍යාව ගැන ගුණදොස් විවේචනයක් කරන්නේ නැහැ. ඒකට අපට ඇඟිල්ල දික්‌කරන්න අයිතියකුත් නැහැ. කොහොම වෙතත් එම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අපහසුය කියූ රෝගීනුත් අපේ ඖෂධවලින් තවමත් ජීවත් වෙලා ඉන්නවා.
මෙහෙම මම කියන්නෙ සැත්කම් නොකර හදවත් රෝග අපට සුවකරන්න හැකියාවක් තියෙන නිසා. අනික මෙහෙම ප්‍රකාශයක් ස්‌ථිරවම කරන්නෙ මගේ හැකියාවට වඩා අපේ පරපුරේ තිබෙන මේ රහස් ඖෂධවල බලවත් බව නිසා.
මට මතකයි මම පුංචි සන්දියේ මගේ අප්පච්චි සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරනවට අමතරව හදවත් රෝගවලට ප්‍රතිකාර කරල ලබපු සතුට. ඒවගේම සුවවෙච්ච රෝගීන් කියපු කතා. ඒ වගේ සනීප වුණු කිහිප දෙනෙක් අදටත් මේ ප්‍රදේශයේම ජීවත් වෙලා ඉන්නවා. එදා මගේ අප්පච්චිට දක්‌වපු සැලකිල්ල ගෞරවය අද මටත් ඒ ඇත්කො දක්‌වන්නෙ මේ ප්‍රතිකාරවල තිබුණු නිවැරදි බව නිසා.
මීට වසර කිහිපයකට පෙර මේ දේශීය වෙදකමට නොයෙක් දොaෂාරෝපණ ආවා. නමුත් ඒ දොස් නගපු අය දැන් මේකෙ තිබෙන බලවත් බව සහ මෙහි තිබෙන අව්‍යාජත්වය මැනවින් තේරුම්ගෙන තිබෙනවා. එමෙන්ම අපි හැමදාම ඒ විශ්වසනීයත්වය තහවුරු කරගෙන තමයි ප්‍රතිකාර කරන්නෙ.
දැන් අපි හදවත් රෝගයක් වැළඳෙන්නෙ කොහොමද ඒ හදවත් රෝගියා ගැන සැලකිලිමත් වන්නේ කොහොමද කියල පැහැදිලි කළා වගේම අපි ඉහතින් කියපු මාස ගණන් ගතවුණාට පස්‌සේ කළයුතු දේ ගැනත් විස්‌තරයක් කළොත්?
අපි හිතමු ඒ රෝගියාට දැනට මාස 10 ක් දොළහක් ගතවෙලා ඉවරයි කියලා. ඉන්පසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත තමන්ගේ රැකියාවට යනව නම් අවස්‌ථාව තියෙනවා. ඒ වුණත් ගතට සිතට තද වෙහෙසකාරී රැකියාවක් කරනවා නම් ඒව ටිකක් සැහැල්ලු කර ගත යුතුයි.
හෘද රෝගියකුගේ ආහාර පාලනය ගැන යමක් කිව්වොත් මම අතුරු ප්‍රශ්නයක් අසමින් වෛද්‍යවරිය දෙස බැලීමි.
මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. විශේයෙන්ම හදවත් රෝගියෙක් තම ආහාර වේල පාලනය කළ යුතුමයි. මෙතෙන්දී බටර්, තෙල්, මාගරින්, සොසේජස් වගේම පේස්‌ටි්‍ර වර්ග, කේක්, පුඩින්, වටලප්පන් වැනි ආහාරවලින් හැකිතාක් වැළකිලා හිටියොත් හොඳයි. ඒ වගේම අධික තෙල් සහිත හරක් මස්, ඌරු මස් සම්පූර්ණ යොදය සහිත කිරි චීස්, බිත්තර, කහමදය ආදිය හොඳම නැහැ. නමුත් මේද රහිත පිටි වර්ග, කහපැහැති, එළවළු වර්ග ඒ කියන්නෙ කැරට්, වට්‌ටක්‌කා, පලාවර්ග සුදුසුයි. පලතුරු කෑවාට වරදක් නැහැ.
ධාන්‍ය වර්ග ආහාරයට එක්‌කර ගත්තාට වරදක් නැහැ. ඒත් කජු, රට කජු වැනි අධික මේද ඇට වර්ග ආහාරයට නොගත යුතුයි. ඒ වගේම සුදු පැහැති සහල් වෙනුවට නිවුඩු සහල් හෝ කුරක්‌කන් හිතකරයි. ව්‍යාජංන සඳහා සුදුළුණු බාගෙට තම්බා කෑම ඉතාමත් හොඳයි. බිත්තර සුදු මදය, කඩල, මුං, කවුපි, පරිප්පු, සෝයා ආහාරයට ගත්තට වරදක් නැහැ.
මෙහිදී පැණිරස ආහාර අවම කළ යුතුයි. මේ කොහොම වෙතත් බඩ තද වෙනකම් කෑම නම් එතරම් හොඳ නැහැ.
සියල්ල සාවදානව අසා සිටි මා තවත් ඇසිය යුතු ප්‍රධාන කාරණාවක් රෝගීන්ගේ සුව සෙත සඳහා ඇසිය යුතුයෑයි සිතමින් මෙවැනි රෝගියකු ලිංගික ජීවිතය ගතකරන්නේ කෙසේ දැයි ඇසීමි.
ඒකට කලබල වියයුතු නැහැ. සාමාන්‍යයෙන් සති හතක් අටක් ගියපුවාම ලිංගිකව හැසිරීම් වරදක් නොවුණත් වෛද්‍ය උපදෙස් නොතකා බර ආහාරයක් ගත්තාම විශේෂයෙන් මත්පැන් පානය කළවිට, ඒ වගේම ශරීරයට අධික වෙහෙසක් දැනුණු අවස්‌ථාවක ලිංගිකව හැසිරීම්වල නොයෙදිය යුතුයි.
මේ රෝගීන්ගේ ප්‍රතිකාර විධි ගැන කතා කළොත් මම තවත් ප්‍රශ්නයක් අසමින් අපේ සාකච්ඡාවට සමුදීමට අදහස් කළෙමි.
ප්‍රතිකාර ගැන කතාකරනවාට වඩා ප්‍රතිකාර කිරීම තමයි ඉතාම වැදගත්. මේ කාර්යයේදී අපි ළඟ තිබෙන රහස් ඖෂධ ඉතාමත් ප්‍රායෝගිකයි. මේව ගැන විස්‌තර කරනවාට වඩා එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරල සුවයක් ලබාදීම තමයි වැදගත් තමරා ප්‍රියන්ති මංගලිකා වෙදැදුරුවරිය සිනාසෙමින් පැවැසුවාය.
අවසාන වශයෙන් ඔබ මෙවැනි හදවත් රෝගියකුට දිය යුතු අවවාදය ගැන පැහැදිලි කළොත්.
හදවත් රෝගියෙක්, බටහිර හෝ දේශීය වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නවානම් වෛද්‍යවරයාටම සියල්ල පවරන්නේ නැතිව තමාත් ඉතාමත් වගකීමෙන් හා සැලකිල්ලෙන් ඊට මුහුණ දිය යුතුමයි. කෙසේ වෙතත් කිසිම සැත්කමක් නොකර මේ වගේ රෝගීන් සුවපත් කිරීමට අපට හැකියාවක් තියෙනවා කියන එක කිව යුතුමයි.
විමලසිරි අගලකඩ