අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’

ලෙඩට බෙහෙත් දී කන්න බොන්නත් දෙන
ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’

රෝග පරීක්ෂා කරන ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා
ර්තමානයේදී වෙදකම වෘත්තියක් බවට පත් වී ඒ සඳහා මිලක් නියම වුව ද, අතීතයේ බොහෝ විට අප රටේ වෙදකම පැවතියේ සේවාවක් ලෙස ය. වෙද මහතා ගමේ ප්‍රභූ®වරයෙකි. ඔහු ගමට ආභරණයකි.
වෙද ගෙදර නිතර මිනිසුන් ගැවසෙන ස්ථානයක් විය. වෙද මහතා භාර ගත්තේ සතුටින් දෙන තුටු පඬුරක් පමණි. එමෙන් ම වෙද ගෙදරට පැමිණෙන රෝගීන් හට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ද වෙද මහතාගේ සිරිත විය. අතීතයේ වෙද ගෙදරක තිබූ එම ලක්ෂණ වර්තමානයේදී ද දැකගත හැකි නම් ඔබ පුදුමයට පත්වනු නිසැක ය. එහෙත් එය සත්‍යයකි.
මේ වෙද ගෙදර පිහිටා තිබෙන්නේ පාණදුර හිරණ ප්‍රදේශයේ ය. ස්ථානය නිවැරදි ලෙසට පවසන්නේ නම් හිරණ ප්‍රදේශයේ ගඟුල පන්සල ආසන්නයේ 1 කණුව අසලින් මීටර් සීයක් පමණ දුරින් වූ කඳු පාමුලක ය. පාණදුර බස් නැවතුම්පළින් ‘හිරණ 457’ බසයකින් මෙහි ළඟා විය හැකි ය.
අපගේ කතානායකයා වන මේ වෙද මහතා සැම හඳුන්වන්නේ ගඟුලේ ඇස් වෙද මහතා ලෙස ය.
එහෙත් ඔහුගේ නම බී. සෝමදාස ප්‍රනාන්දු ය. සෝමදාස වෙද මහතාට මෙම වෙදකම උරුම වූයේ පරම්පරාවෙනි. සෝමදාස මහතාගේ පියා ප්‍රදේශයේ සිටි පාරම්පරික වෙද මහතෙකි. ගඟුලේ ඇස් වෙද මහතා ලෙස සෝමදාස මහතාව හඳුන්වන්නේ විවිධාකාර වූ අක්ෂි රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ඔහු සතු නිසා ය. ඇත්තෙන් ම ඔහු අක්ෂි රෝග විශේෂඥයෙකි.
ඇසට ඇති වූ රෝගය ඇසේ සුද වුව ද, ඇසේ පීඩනය වැඩිවීම (ග්ලූකෝමා) වුව ද ඇසිපිය ඔසවා ගැනීමේ අපහසුව වුව ද කුඩා දරුවකුට ඇති වූ වපරයක් වුව ද එසේ නැතිනම් ස්නායු ආබාධයක් නිසා ඇස රෝගී වුව ද එම සෑම අක්ෂි රෝගයකට ම ගඟුලේ වෙද මහතා ළඟ ප්‍රතිකාර ඇත. අක්ෂි රෝගවලට අමතරව දියවැඩියාව, අංශභාගය, හන්දි කැක්කුම, මෙන් ම විවිධ ස්නායු ආබාධ සඳහා ගගුලේ සෝමදාස වෙද මහතා සතුව ප්‍රතිකාර ඇත. කිසියම් රෝගියකු හට ප්‍රතිකාර කිරීමේදී ගැටලුවක් මතු වූ විට සෝමදාස මහතාට පිහිට වන්නේ පරපුරෙන් පරපුරට දැනුම ගෙන ආ පැරණි වෙද පුස්කොළ පොත් ය.
වසර ගණනාවක් රෝගීන් දහස් ගණනකට සුවසෙත ලබා දුන් සෝමදාස වෙද මහතා මේ වනවිට මීළඟ පරපුර වෙත වෙදකම පවරා ඇත. ඒ; සෝමදාස මහතාගේ වැඩිමහල් පුත් ඉෂාර ප්‍රනාන්දු වෙත ය. වර්තමානයේ රටපුරා වෙද නිවෙස් කොතෙකුත් ඇතත් ඒ කිසිවෙක නොමැති විශේෂත්වයක්, ගඟුලේ වෙද මහතා පිළිබඳව තොරතුරු සෙවීමට අප පෙලඹවීය. ඒ; වෙදකම සඳහා මිලක් නියම නොකිරීම ය. අතේ තිබෙන කීයක් හෝ මුදලක් වෙද ගෙදර තිබෙන පෙට්ටියට දමා යා හැකිය. පෙට්ටියට මුදල් නොදැමුව ද සැමට සමානව වෙද ගෙදරින් සේවය සැලසේ.
සෝමදාස ප්‍රනාන්දු වෙද මහතා
තවත් විශේෂයක් ඇත. ඒ උදේ 10 ට පමණ තේ කෝප්පයකුත් දහවල් කෑමත් වෙද ගෙදරින් නොමිලේ සැපයීම ය. එය ඉතා පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකි. මුදල් හිඟ පාඩු ඇති අයෙකුට නිවෙසට යාමට බස්ගාස්තු පවා ඇතැම්විට වෙද ගෙදරින් ලැබෙයි.
මෙම විශේෂත්වයන් කීපය නිසා ම පසුගිය දිනෙක අපි හිරණ ගඟුලේ වෙද නිවෙසට ගියෙමු. ඒ වනවිට වෙද නිවෙස ඉතා කාර්ය බහුල ස්වභාවයක් ඉසිලීය. රෝගීන් 250 ක ආසන්න පිරිසක් එහි සිටින්නට ඇත. බොහෝ දෙනකු සිටියේ පත්තුවක් වැනි යමක් දෑස් වටා දමාගෙන ය. තැනෙක ගඟුලේ වෙද මහතාගේ පුත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා ඇස් පරීක්ෂා කරයි. තවත් ස්ථානයක පොට්ටනිවලින් ඇස් තවන පිරිසකි.
තවත් තැනෙක ඇස් වටා පත්තු ගැල්වෙයි. තෙල් ගල්වා ඇස වටා සම්බාහනය කරයි. එතැන විවිධ වයස් මට්ටම්වල විවිධ සමාජ මට්ටම්වල විවිධ ආර්ථික මට්ටම්වල පුද්ගලයෝ සිටිති. කුඩා දරුවන් කීප දෙනෙක් භික්ෂූන් වහන්සේ නමක්, තරුණ තරුණියන් කීප දෙනෙක්, විශ්‍රාමික විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඒ අතර සිටිති. මෙහි දී සෑම දෙනාම එක හා සමාන ය. ඇස් වටා පත්තු තබාගත් ඇතැම්හු බෙහෙත් සෑදීමට අවශ්‍ය කොළ වර්ග සකසති. ඇතැම් රෝගීහු මුළුතැන්ගෙයි වැඩටත් උදව්වෙති.
එක් කාමරයක මුනින් අතට බිම දිගා වූ කාන්තාවකි. ඇයගේ කොන්දේ ඖෂධීය පත්තුවකින් මැද්දට ඖෂධීය තෙල් දමා ඇත. ඇයට කොන්දේ ආබාධයකි. මේ සෑම දෙයක් ම සිදුවන්නේ සෝමදාස වෙද මහතාගේත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතාගේත් අධීක්ෂණය යටතේ ය. මෙම සද් කාර්ය පිළිබඳව තොරතුරු සෝමදාස වෙද මහතා ගෙන් විමසුවෙමු.
“මට මේ වෙදකම උරුම වුණේ මගේ පියාගෙන්. මෙය පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකමක්... දවසකට 250 ත් 300 ත් අතර පිරිසක් මෙහාට එනව බෙහෙත් ගන්න. මෙතැනින් උදේ 6.00 ඉඳල නොම්මර දෙනවා. ඒ අනුපිළිවෙළට තමයි අපි වෙදකම් කරන්නේ. මෙතෙන්ට එන වැඩි දෙනෙක් ඇස් අමාරුවලට ප්‍රතිකාර ගන්න එන උදවිය.
දරුවන්ට බෙහෙත් - ‘ඇස් බැන්ඳුම්’
ඇස්වටා සම්බාහනය කිරීම
අපි දහවල් 12 ට ප්‍රතිකාර කිරීම නවත්වනවා. ඒ ඇස්වලට දවල් 12 න් පස්සේ ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසයි. දවල් 12.30 අපි දවල් කෑම දෙනවා. කිසිම දේකට සල්ලි ගන්නෙ නෑ. තමුන්ට හැකි මුදලක් මෙතන තියන පෙට්ටියට දමන්න පුළුවනි. ශතයක්වත් දැම්මේ නැතත් අපි ඒ ගැන සළකන්නේ නෑ. අපි වෙදකමට මුදලක් නියම නොකරන්න හේතුවක් තියෙනවා.
ඇස්වලට ප්‍රතිකාර කරන විට දිනපතා දින 15 ක් පමණ ප්‍රතිකාර කළ යුතුයි. අක්ෂි ආබාධයේ ස්වභාවය අනුව ඒ දින ගණන වෙනස් වෙනවා. ඇතැම් උදවිය මෙහාට එන්නෙ බොහොම ඈත ඉඳල. වියදම් දරාගෙන. දුප්පත් මිනිසුන්ට විශාල මුදලක් වියදම් කරන්න අමාරුයි. අපි වෙදකමටත් මිලක් නියම කළොත් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙන්නෙ හැමදාම අඳුරේ ඉන්න.
ඒ නිසයි අපි වෙදකමට මුදල් අය නොකරන්නේ. මේ වැඩේ කරගෙන යන්නෙ ඉතාම අමාරුවෙන්. මමයි බිරිඳයි දරුවන් දෙදෙනෙකුයි මේ වැඩේට කැපවෙලයි ඉන්නෙ. අනෙක් දරුවො වෙනත් රැකියාවල් කළත් වක්‍රාකාරව හෝ හෝ මේ වැඩේට උදව් වෙනවා. මෙතන බෙහෙත් හදන්න, උයන්න පිහන්න 20 ක පමණ සේවක පිරිසක් ඉන්නව.
ඔවුන්ට පඩි ගෙවන්න ඕන. මෙතනට එන රෝගීනුත් මෙතන හැම වැඩකටම උදව්වෙනවා. ඒ වගේ ම මේ වැඩේට පරිත්‍යාගශීලින්ගෙනුත් උදව් ලැබෙනවා. එක මහත්තයෙක් මාසෙකට ඇතිවෙන්න පොල් එක පාර ගෙනත් දෙනව. මම කවදාවත් දැකලවත් නැති විශ්‍රාමික මහත්මයෙක් එයාගෙ විශ්‍රාම වැටුපෙන් රුපියල් 500 ක් හැම මාසෙම තැපෑලෙන් එවනව.
හැබැයි මේ ශාලාව පවත්වාගෙන යන ඉඩම වෙන්දේසියකින් ගත්තෙ. 2017 අවුරුද්ද වනතෙක් මාසෙට රුපියල් විසිදාහ ගානෙ ගෙවන්න ඕන. සමහර මාසවල ගෙවාගන්න බැරි වෙනවා. ඒත් කොහොම හරි මේ වැඩේ කරගෙන යනවා. අපේ ඇස් වෙදකමේ විශේෂත්වය තමයි කිසිම ඇස් රෝගයක දී ඇසට බෙහෙත් නොදැමීම.
සමහර ඇස් අමාරු වලට කකුලට බෙහෙත් බඳින්න වෙනවා. බෙහෙත් සොයාගන්න ගොඩක් දෙනා උදව් වෙනවා. අපි මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට නෙමේ; සේවාවක් විදියට. මගෙ ලොකු පුතා ඉෂාර ප්‍රනාන්දු තමයි, දැන් වැඩියෙන් වෙදකමට යොමු වෙලා ඉන්නෙ. එයාට මගේ පාරම්පරික දැනුම සේරම දීල තියෙනව. ඒ වගේ ම එයා බොරැල්ල ආයුර්වේදයෙන් වෙදකම හදාරපු කෙනෙක්. එයා මටත් වඩා බොහොම සාර්ථක විදියට වෙදකම කරගෙන යනවා.”
වෙද ගෙදරින් ලැබුණු දිවා භෝජනය රසවිඳින රෝගීන්
එය ඉතා සතුටු දායක ආරංචියකි. අපි ඉෂාර ප්‍රනාන්දු තරුණ වෙද මහතා සමඟ ද කතා බහ කළෙමු.
“මේ වෙදකම මට පරම්පරාවෙන් උරුම වුණු දේ. මම හරිම ආශාවෙන් තමයි මේ වෙදකම කරන්නේ. රෝගියාව පරීක්ෂා කරල අපිට කියන්න පුළුවනි සුව කරන්න පුළුවන්ද, බැරිද කියල. ඒ අනුවයි අපි රෝගියාව බාර ගන්නෙ. මට තාත්තා කියල තියෙන්නෙ කෑම බීම දෙන්න පු‍්‍රළුවන් තාක්කල් මේ වෙදකම කරන්න කියලයි. ඒක මම කොහොම හරි කරනවා.
අද බොහෝ දෙනෙකුගේ ඇස්වලට විවිධ ආබාධ ඇතිවෙනවා. ඒකට බොහෝ විට හේතු වන්නේ වැරදි වත් පිළිවෙත්. ඇතැම් අය තද අව්වේ පැය ගණන් ඇවිදීමෙන් පසුව එකවරම සීතල වතුර නානවා. එය ඇස් රෝග ගණනාවකට හේතුවක්. අව්වේ ගමනක් යාමෙන් පසුව අප ස්නානය කළ යුත්තේ ඇඟ සිසිල් වනතෙක් පැයක් පමණ සිටීමෙන් පසුවයි.”
කතාව අවසන් වනවිට දහවල් වී තිබුණි. දැන් දිවා ආහාරය සියලු දෙනාට සූදානම් ය. මෙය වර්තමානයේ විශ්වාස කළ නොහැකි දෙයක් වුව ද, එය සත්‍යයකි. ගඟුලේ වෙද නිවෙසේ විශේෂත්වය එයයි.

විශේෂ ස්තුතිය
යූ. චන්ද්‍රසිරි මහතාට

ගාමිණී සුසන්ත
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ

ඇස් දෙකක් පාදන එක නිවන් දකින පින්කමක්


බුදුන් වහන්සේ ලෝකයට ඇසක් හා සමාන බවත්, මහානාග රජු මිථ්‍යාදෘෂ්ටිය අත්හැර තිසරණයේ පිහිටි බවත්, කිරින්දේ සෙල් ලිපියක සඳහන් වේ. ලෝකයට ඇසක් යනුවෙන් බුදුන් වහන්සේ මෙහි දී සමාන වූයේ ඇස යන ඉන්ද්‍රියෙහි ඇති ඉහළ ම වැදගත්කම නිසා ය. ලොකු කුඩා ඕනෑ ම සතකුට වුව අවශ්‍ය වැදගත් ම ඉන්ද්‍රිය ඇස ය. හිඟාකෑමට වුව ඇස් වුවමනා බව ගැමියෝ කතාවට කියති. අප රටේ සාම්ප‍්‍රදායික ඇස් වෙදකමක් තිබේ. එය බටහිර අක්‍ෂි විද්‍යාව පුදුම කරවන තරමේ බලයකි. එහෙත් කූට චේතනාවෙන් ඇස් වෙදකම් කරන හොර වෙදුන් නිසා අපේ පාරම්පරික ඇස් වෙදකම ගැන විශ්වාසය පළුදු වී ගියේ කලක පටන් ය. එහෙත් තම ජීවිතය වෙදකම ලෙස සලකන වෙද ඉසිවරු තවමත් නැත්තේ ම නො වේ. එවන් පූර්විකාවක් මා ඔබට ලීවේ මා දුටු විස්මිත ඇස් වෙද මහතකු ගැන ඔබට කීම මා සතු යුතුකමක් බැවිනි. එය වඩාත් යුක්ති යුක්ත සද් කාර්යයකැයි මම සිතමි. අන්ධ පරීක්‍ෂාවෙන් යුතුව ලෝකය වටේ කරක් ගසා තමන් සතු ධනය නැති නාස්ති කැර ගත් අහිංසකයෝ මේ වෙද මහතා හමුවේ සුවය ලබති.
කිසියම් මුදලක් අය නො කරන, සතුටු සිතින් දෙන මුදලක් බාර ගන්නා මේ පාරම්පරික ආයුර්වේද වෙද මහතා තමා සතු වෙදකම රෝගීනට ප‍්‍රදානය කරන්නේ කිසිදු පටු චේතනාවකින් නොවේ.

ඔහු ගේ පියා ඩේවිඩ් ප‍්‍රනාන්දු ය. පාණදුර කෙසෙල්වත්තේ පාරම්පරික වෙදකම කළ හෙතෙම හරි හම්බ කළේ ද මිනිස්කම ය. තම පුත‍්‍ර රත්නය වන බෙල්ලන ගේ සෝමදාස ප‍්‍රනාන්ද්‍ර මහතාට හේ මරණ මංචකයේ හිඳ එකොළොස්වන පැයේ දී මෙසේ කීය.
”පුතේ, ඇස් දෙකක් පාදන එක නිවන් යන පිංකමක්. ඒ අය අප ළඟට එන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. අතේ මිටේ සල්ලි පනම් තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. ඒත් ඇස් රෝගයක් ඇත්නම් සුව කරලා යවන එක අපේ යුතුකම. උඹ ඒක හරියට ම කරන්න ඕනෑ. සතුටු සිතින් යමක් දුන්නත් නැතත්, අනෙක් එක දුර බැහැරින් එන මේ මිනිස්සුන්ට කෑම වේලක් තේ වතුර ටිකක් දෙන්නත් උඹ හිතට ගන්න ඕනෑ.
පියා ගේ මේ වචන සෝමදාස ගේ හිතේ ඊයම් බරුවක් කිඳ්‍ර බැස්සාක් මෙන් තැන්පත් විය. හේ තිර අදිටනින් පියාට ප‍්‍රතිඥ දුන්නේ ය. අද පොල් ගෙඩියක් රු. 35 – 40 කි. හාල් කිලෝවක් රුපියල් 60 කි.
එළවළුවක් කීය ද? මෙසේ ඇස්වලට දමන බෙහෙත් ප්ලාස්ටරයක් හදන්නට ;ද්ශීය ඖෂධ 190 ගණනක් අවශ්‍යය. ඒවා සපයා ගන්නට වෙන්නේ වෙද මහත්මයාට ම ය. ඔහු ගේ බිරිය නෑසියෝ දූ දරුවෝ ද මේ සද්කාර්යයට උදව් කරති.
එක තැනක බෙහෙත් කොටන සේවිකාවෝ පිරිසකි. ඒ අයට ද දෛනික දීමනාවක් දිය යුතු ය. දිනකට රත්නපුරයෙන්, අනුරාධපුරයෙන්, කතරගමින්, පොලොන්නරුවෙන් හා තදාසන්න හා දුරස්ථ වෙනත් ප‍්‍රදේශවලින් මෙහි එන 300 - 400 ක් ජනතාවට කෑම බීම ලබා දීම ද හෙතෙම ඉටු කරයි.
එහෙත් වෙද මහතාගෙන් දිනකට ප‍්‍රතිකාර ගන්නා 300 දෙනකුගෙන් 100 දෙනකුවත් ඒ ආධාර පෙට්ටියට මුදලක් දමන්නේ නැත. ඔවුහු වෙද මහතාට පින් දී මාරු වී යති. මේ නයින් බලන කල වෙද මහතා ගේ වෙදකම තවත් කී කලක් රැඳේ දැයි සැක සහිත ය.
මෙහි තවත් දුක්බර පැත්තක් ද තිබේ. ඈත ප‍්‍රදේශවල සිට මෙහි පැමිණෙන රෝගීනට නවාතැන් දීමට දැන් ඒ අසල්වැසි නිවෙස්වල කාමර විවර වී ඇත. දිනකට රුපියල් 200 – 250 ඒ අහිංසකයනගෙන් ඒ නිවෙස් හිමියෝ අය කරති.

මෙය වෙද මහතා ගේ වෙදකමටත් ලජ්ජාවෙකි. පාරමී පුරන බෝධිසත්ත්වයකු මෙන් වෙද මහතා කරන කාර්ය ඉන් කිලිටි වෙයි. මා මෙතෙක් කීවේ මෙහි වටපිටාව ගැන මිස මේ විස්මිත වෙදකම් ගැන නොවේ.
එය කීමට වඩාත් අයිතිය ඇත්තේ වෙදකම් ගත් ඇත්තන්ට ය. මම ඔවුන් මට කී දේ මෙසේ ඔබට ලියමි.
දැනට පාණදුරයේ කුරුප්පුමුල්ලේ දිවි ගෙවන සෝමදාස මහතා හමු වී ප‍්‍රතිකාර ගත් මේ අය හමුවීමට මා යන මොහොතේ ද එහි දෙතුන් සියයක් පිරී සිටිනු මම දුටිමි.
උදේ රැයින් මෙහි පැමිණෙන දුර බැහැර රෝගීහු මෙහි ලැගුම් ගනිති. උදේ 6 - 12 අතර ඇස් වෙදකම් කිරීම වෙද මහතා ගේ සිරිතයි. මම ඒ ගැන වෙද මහතා විමසීමි.
”ඉර අවරට ගියාට පස්සෙ ඇස් වෙදකම හරියන්නෙ නෑ.” ඒ වෙද මහතා දුන් පිළිතුර ය.
නුගේගොඩ ජීවත්වන ශිරාණි මහගෙදර ගේ පුතු තේනුජගේ (අවුරුදු 6 1/2) ඇස් දෙක ම එකවර නොපෙනී ගියේ ය. හිරු එළිය හෝ ආලෝකය කෙසේ වත් බලන්නට බැරිව දරුවා විලාප තැබුවේ ය.
තරමක අත මිට තිබූ මවුපියෝ දරුවා රැගෙන රටේ නම ගිය අක්‍ෂි වෛ්‍යවරු සොයා කොළොම්තොටට, මහනුවරට දිව ගියහ. දහසින් බැඳි පියලි පිදුවත් දරුවා ගේ නෙතු සුවය නො ලැබිණි.
කාගෙ දෝ කීමක් අසා එවර මේ මවුපියෝ ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලය සොයා ගියේ දහසක් බලාපොරොත්තු ඇතිව ය. රුපියල් ලක්‍ෂ 10 කට අධික මුදලක් වියදම් විය. එහෙත් දරුවා ගේ ඇස්වල තත්ත්වය තව තවත් බරපතළ වූවා මිස සුවයක් නො ලැබිණි.
පාණදුරේ සෝමදාස ඇස් වෙද මහතා ගැන ලත් ආරංචියෙන් ඔව්හු එහි ඉගිල ආහ. මුදලක් ඉල්ලුවේ ද ගාස්තුවක් නියම කැරුණේ ද නැත. සති 4, 5 ක බෙහෙත් ප්ලාස්ටර හා වෙනත් ආලේපන මගින් දරුවා දැන් ආලෝකය දකී. හිරු එළිය බලයි. මේ මොන තරම් විශ්ව කර්ම වැඩක් ද?
”මගෙ පුතා අරගෙන මං නොගිය තැනක් නෑ. ඔය නමගිය ඇත්තො සල්ලි ගත්තා විතරයි. ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලයටත් බැරිවුණා මගෙ පුතා ගේ ඇස් සනීප කරන්න. මේ වෙද මහතා නම් විශ්වකර්මයෙක්.
මේ අයට ඇයි ආණ්ඩුව අනුග‍්‍රහ නොදෙන්නේ. මේ ලෙඩ්ඩුනට ඉන්නවත් ඉඩක් නෑ. සල්ලි අය කරන්නෙ නැති නිසා මිනිස්සුත් මඟ හැර යනවා. මේ වෙද මහතා අපේ රටට සම්පතක්.” දරුවා ගේ මව ශිරාණි මහගෙදර කීය.
ටී. ජයන්ත (බොරැල්ල) අවුරුදු) අවුරුදු 44.
අවුරුද්දකුත් මාස 9 ක් තිස්සෙ මං මේ ඇහැකට වෙදකම් කරනවා. කිසි ම සුවයක් ලැබුණෙ නැ. ඇසට වැදුණු පාරකින් ඇගේ සිවිය ගැලවිලා. කොහෙන් ප‍්‍රතිකාර ගත්තත් හරි ගියේ නෑ. මේ වෙද මහතා දෙයියෙක්.
මෙහෙම ඇවිත් මාස 5 ක් ඇති. මගේ පෙනීම දැන් දියුණුයි. සිවිය නැවත එහි අලවන්න මෙහිදී කටයුතු කළා. මේ ඉඩම මාසයක විසි දහසේ ගණනේ ගෙවන්න වෙද මහත්තයා අරගෙන තියෙන්නෙ.
ඒකත් එක්තරා ලොකු බිස්නස්කාරයකුගෙ ආයතනයක ප‍්‍රධාන තනතුරක් හිමි නෝනා කෙනෙකුගේ ඇස් සනීප කරලා ලැබුණු එකක්. ඇපකරුවන් නැතිව මේක දීලා තියෙන්නෙ. වෙද මහත්තයා මුදලුත් නොගෙන මේවා කොහොම කරනවද හිතා ගන්න බෑ.
මේ පිළිබඳ විස්තරයක් වෙද මහතා අපට කීය. සමහරු වෙද මහතාට ගොඩනැගිලි හදා දී මුදලට වෙදකම් කිරීමට කටයුතු කිරීමට සංවිධානගත වීමට කල්පනා කළහ. එහෙත් මුදලට වෙදකම් කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන බව කී වෙද මහතා මේ ෆිනෑන්ස් ඉඩමට ආවේය.
මිනිස්සු සල්ලි නුදුන්නත් කමක් නෑ. මට පුළුවන් කාලයක් මා මේ වෙදකම කරනවා. බැරි වුණොතින් කරන්න දෙයක් නෑ. ඒ වෙද මහතාගේ වචනයයි. (සතුටු සිතින් කෙනකු දෙන දෙයක් දමන්න බෙහෙත් හලේ පෙට්ටියක් තිබේ. ඒ පෙට්ටිය මුදලකින් පිරේ නම් මේ වෙදකම රැකේ යැයි සිතමි.
මේ අතර ආත්මාර්ථකාමි ලෙඩ්ඩුද සිටිති. ඔවුන් වෙද මහතා ගැන ප‍්‍රසිද්ධ කරනවාට දැඩි ලෙස විරුද්ධය. ඒ රෝගීන් පිරුණොත් තමනට අවාසියක් වෙතැයි සිතමිනි.
රත්නපුරයේ සිට පැමිණ සිටි චන්ද්‍රසේන මහතාගේ කතාව ද අපූරුය.
‘ඇස්වල සුද එනවට ප‍්‍රතිකාර සඳහා ශල්‍යකර්ම කරනවා. ඒත් ඇස්වල යුද ආයිත් එනවා. මම නම් ඔපරේෂන් කරන්නෙ නෑ. මේ වෙද මහතා ළඟ ඇසේ සුද දිය කරවන බෙහෙත් තියෙනවා. ලංකාවේ විවිධ දුර බැහැර පෙදෙස්වලින් එන බොහෝ අය ඇස්වල සුද මෙහිදී දිය කර ගත්තා. දැන් මගෙත් ඇසේ සුද දියවෙලා.
කොළඹ නාලන්දා විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සඳරු ප‍්‍රනාන්දු දරුවාට ළඟ - දුර දෙකම නොපෙනෙන ආබාධයක් තිබුණේය. පොත පත කියවන විට දිගින් දිගටම කඳුළු ගැලීමද සිදු විය. මව නාලනී දරුවාත් රැගෙන මෙහි ආවේය.
“මට දැන් ළඟ – දුර තරමක් පෙනෙනවා. මොරටුවේ ලක්ෂපතියෙ ඉඳන් අපි උදේම ආවත් මෙහි සෙනඟ පිරිලා ඉන්නෙ වෙද මහත්තයාගෙ දක්ෂකම නිසයි. සඳරු කීය.
මාතර වල්ගම සිරිසේන (35) වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙකි.
“මේ වෙදකම ගැන මට පුදුමයි. මගේ ඇස්වල තිබුණු ආබාධයක් සති 4 කින් සුවය ලැබුවා.” ඇස් ඉදිමුම ඇස් පිපිරුම ආදි දේවලට පවා ;මහිදී ප‍්‍රතිකාර සිදුවේ. විදේශකයෝද රහසේ බටහිර ක‍්‍රම අත් හැර මෙහිදී ප‍්‍රතිකාර ගනිති. එසේ තොරතුරු නොදී රහසේ ප‍්‍රතිකාර ගන්නා කියුබානු ගුරුවරියක් ද අපට දැක ගත හැකි විය.
හමුදාවේ හා පොලිසියේ උසස් නිලතල ඇත්තන්, ගුරුවරුන් හා තවත් නොයෙක් විධායක ශ්‍රේණිවල ඇත්තෝ ද මෙහිදී ප‍්‍රතිකාර ගනිති. ඩබ්ලිව්. ඒ. කරුණාරත්න (74) මහර කිරිමැටියාගාර හිටපු ග‍්‍රාම සේවක නිලධාරි මහතාය.
මා ඉන්නෙ ඉහළ බියන්විල කඩවත. මගේ අස්වල ආපු ආබාධයට ප‍්‍රතිකාර ගන්න මේ වෙද මහතා ළඟට ආවා. ලංකාවේ සිවු දෙසින් ජනතාව එනවා. වෙද මහතා නොමිලයේ ප‍්‍රතිකාර කරනවා. සුවය ලබනවා යනවා.
මේක හරිම අසාධාරණයි. මේ පාරම්පරික වෙදකමින් මගේ ඇස් සුව වුණේ පුදුමාකාර ඉක්මනකින්. දන් වේලක්, තේ උගුරක් මේ ජනතාවට ලබා දීලා මේ වෙද මහතා නොමිලයේ කරන සත්කාරය අගය කළ යුතුයි.
යමක් නිකම්ම ලැබෙන විට අපේ අයට එහි වටිනාකමක් ද නැත. නිකම් පිනට දුන්නා කියා පිනටම ගැනීම වැරැදියි. වෙද මහතා රැක ගැනීමට කටයුතු කළ යුතුය. අපේ රටේ ආයුර්වේදය රැක ගැනීමේ බලධරයනි, නොපමාව මේ වෙද මහතා ගැන සොයා බලන්න. එය ජාතියට කළ සේවයක් වනු ඇත.
වෙද මහතා පුරසාරම් දොඩන්නකු නොවේ. මම ඔහු හා කතිකා කෙළෙමි.
“මට පුළුවන් කාලයක් මේ වෙදකම කරන්නෙ නොමිලේ. ලෙඩ්ඩුන්ට දන් වේලක් දෙන්න මුදලක් අර පෙට්ටියට සිත සතුටින් දානව නම් ඒ ඇති. මට දැන් අවුරුදු 61 යි. මගෙන් පස්සෙ මේ වෙදකම කරන්න මා දරුවන්ට උගන්වලා තියෙනවා.” එතුමා කීය.
පරහිතකාමී හැඟීමෙන් ඔපවත් වෙද ඉසිවර සෝමදාස මහතාට දීර්ඝායු පතමි.
ගායන ශිල්පී ආත්මා ලියනගේ මහතා හා ඔහුගේ බිරිද විසින් ගගුල වෙද මැදුරට රෝගීන්ගේ පහසුව තකා බෙහෙත් අඹරන යන්ත්‍රයක් පරිත්‍යාග කල අවස්තාව 2016-07-03 
හෙළ වෙද රුසිරාන මුදලට ගැති නොවී කරනව ප්‍රතිකාර 


වෙදකමට උදව් කරන දෙමාපියන් සහ සහෝදරිය සමග තුෂාර ලක්‌මාල් වෙදමහතා

ස්‌වලට බෙහෙත් ගල්වා තම වාරය
එනතුරු සිටින රෝගීන්

සේන ගනේවත්ත මහතා
සියල්ල මුදලට යට වූ ලෝකයක සර්වබලධාරියා මුදල බවට පත් වුවත් මුදලට ගැති නොවී රෝගියාගේ සුව සහනය උදෙසා කටයුතු කරන ස්‌ථානයක්‌ අප කණ වැටුණේ මීට ටික කලකට පෙරය. සිංහල වෙදකම තවමත් සුරැකෙමින් තිබෙන බව එම ආරංචියෙන් කියෑවිණි. එවිට අපට සිහියට නැගුණේ එදා හෙළ රජදවස බුද්ධදාස රජතුමාය. එතුමාත් සර්පයන්ට පවා වෙදකම් කළ බව ඉතිහාසයේ සඳහන්වේ.
ඒ කෙසේ වෙතත් අපට ලැබුණ ආරංචිය අනුව එම ස්‌ථානය සොයා පිටත් වූවේ කෙතරම් කතා තිබුණත් ඒවා කතාවලට පමණක්‌ සීමා වී ඇති අවදියක මුදල මත යෑපීමෙන් තොරව ඇස්‌වලට ප්‍රතිකාර කරන ස්‌ථානය සොයාය. අපි එහි යන විට උදෑසන හිරු පායා ප්‍රදේශයම රන්වන් පැහැයෙන් දිදුලමින් තිබිණි. බැලූ බැලූ අත ඔසු තුරුය. ඇස්‌ මතට බෙහෙත් ගල්වා බොහෝ පිරිසක්‌ එම ස්‌ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය. බාල මහලු, තරුණ, වැඩිහිටි අය බොහෝ දෙනෙක්‌ මෙම ස්‌ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය.
මිනිසකුට තම ජීවිතයේ උතුම්ම අංගය ඇස්‌ දෙකය. වෙන මොනවා තිබුණත් මේ ලෝකය දකින්නට ඇස්‌ දෙක නැත්නම් වැඩක්‌ නැත. ඇස්‌ පෙනෙන්නේ නැත්නම් ඒ ජීවිතය අඳුරේ බව කිව යුතු නැත. නමුත් එසේ අඳුරට යන ජීවිතවලට ආලෝකය ලබාදෙන අයුරු දුටු විට අපේ හෙළ වෙදකමේ අසිරිය කොතරම් මනරම් ද යන්න අපට වැටහිණි.
ගඟුලේ වෙදගෙදර නමින් ප්‍රසිද්ධ වී ඇති මෙම ස්‌ථානය ප්‍රධාන වශයෙන් බෙහෙත් කරනු ලබන්නේ අක්‌ෂි රෝගවලටය. ඊට අමතරව සන්ධි රෝග, පීනස සහ කාන්තා රෝගවලට ප්‍රතිකාර කරනු ලබයි. 
මගේ තාත්තගේ තාත්තා තමයි මේ වෙදකම කරගෙන ඇවිල්ල තියෙන්නේ. මගේ තාත්තත් මේ වෙදකම කරගෙන ඇවිත් දැන් මම වෙදකම් කරනවා. ඇත්තටම කීවොත් අපේ ගඟුලේ වෙද පරපුරක්‌. අපි පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම කරගෙන යනවා. ඇත්තෙන්ම මම කල්පනා කළා මෙම වෙදකම රැකගෙන අපේ රටේ දුප්පත් මිනිස්‌සුන්ට සේවයක්‌ කරන්න පුළුවන් කියලා. අනික තමයි අපේ තාත්තට සීය කියල තියෙනව රෝගීන්ගෙන් සල්ලි ගන්න එපා. රෝගීන්ට කන්න දෙන්න බැරිනම් මේ වෙදකම කරන්නත් එපා කියලා. ඉතින් මගේ තාත්තා ඒ උපදෙස අකුරටම පිළිපැද්දා. දැන් මමත් එහෙමයි. අපි රෝගීන්ගෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. එයාල කැමැතිනම් අපේ පිං පෙට්‌ටියට තමන්ට හැකි අයුරින් මුදල් දාන්න පුළුවන්. හැබැයි මුදල් ලැබුණත් නැතත් අපි හැම රෝගියකුටම එකලෙස සලකනවා. එදා අපේ දේශීය වෙදකම කරපු මුතුන් මිත්තෝ මුදල් පසුපස හඹා ගියේ නැහැ. ඉතින් මගේ සීයත් එහෙම කළා. තාත්තයි මමත් කරන්නේ ඒ දෙයමයි.
ඇත්තටම ලෙඩෙක්‌ගේ ඇස්‌ හොඳ වෙලා මේ ලෝකය දකින්න ලැබුණයි කියලා කිව්වම මුදල්වලට වඩා පුදුම සතුටක්‌ දැනෙනවා. ඒක තමයි මගේ ජීවිතේ කියල කියන්න ඕන. ඒ වෙලාවට දැනෙන නිරාමිස සතුට කියලා නිම කරන්න බැහැ. ඒ සතුට මුදලට ගන්නත් බැහැ.
එලෙස අප සමග කතා කළේ ගඟුලේ වෙද මැඳුරේ පොඩි වෙද මහත්තයා යන සුරතල් නාමයෙන් හඳුන්වන තුෂාර ලක්‌මාල් ප්‍රනාන්දු වෙද මහතාය.
එතකොට වෙද මහත්තයා සිංහල වෙදකමෙන් ලෙඩ හොඳ වෙන්න කාලයක්‌ ගත වෙනව කියල ජනතාව අතර මුල්බැසගත් මතයක්‌ තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ...? ඇත්තෙන්ම සිංහල වෙදකමෙන් රෝග සුව වෙන්න කල් ගත වෙන්නේ නැහැ. අනික තමයි අපේ වෙදකමෙන් නිට්‌ඨාවටම රෝගය සුව කරනවා. ඒක පැලැස්‌තර දැමිල්ලක්‌ නෙවෙයි. හැබැයි ඔය කතාව කියන්න හේතු තියෙනව. මොකද ලෙඩාට බෙහෙත් දුන්නම එයා ගෙදර ගිහින් කසාය ටික උණුකරගන්න දන්නේ නැහැ. බෙහෙත් හොයා ගන්න බැහැ. ඒ විතරක්‌ නෙවෙයි ලෙඩේට අවශ්‍ය උපස්‌ථාන නියමිත ලෙස ලැබෙන්නේ නැහැ. එපමණක්‌ නොවෙයි බෙහෙත් කියල ව්‍යාජ ඖෂධ වර්ගවලටත් අහුවෙනව. ඉතින් මේ අඩුපාඩු නිසා තමයි රෝගය සුව වෙන්න කාලයක්‌ යනව කියන්නෙ. මෙහෙම ප්‍රතිකාර කරගත්තම ලෙඩේ වැඩිවෙන්නත් පුළුවන්කම තිබෙනවා.
ඒක නිසා අපි හැම විටම අපේ ළඟට එන රෝගීන්ට බෙහෙත් දෙනවා. ඒ වගේම ඇස්‌වලට බෙහෙත් ගල්වනවා. තැවීම්, පොට්‌ටනි ඇල්ලීම් සියල්ල මෙම ස්‌ථානයේ පළපුරුදු අය යොදවා කරනවා. එයින් ලෙඩාට ඉක්‌මන් සුවය ලබා දීමට අපට හැකිවෙලා තියෙනවා. ලෙඩා දුරබැහැරකනම් ඔහුට අවශ්‍ය නවාතැන් පහසුකම් විතරක්‌ නෙවෙයි ආහාරපානත් ලබාදෙනවා. මේ සියල්ල අපි කරන්නේ නොමිලේ. 
අනික තමයි මේ ස්‌ථානයේ සේවය කරන හැමදෙනාම මෙතෙන්ට එන හැම ලෙඩාටම කාරුණිකව උපස්‌ථායක කටයුතු කරනවා. මෙතන සේවය කරන සියලුදෙනාටම සම්පූර්ණ නිදහස අපි ලබාදීල තියෙනව. ඒක නිසා ඒ අය හොඳින් තමන්ගේ වගකීම ඉටුකරනව. 
අනික තමයි ප්‍රතිකාර කරන විට රෝගියාට දෙන උපදෙස්‌ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. එහෙම වුණොත් රෝගය ඉක්‌මනින් සුව වෙනවා. අනිත් කාරණය තමයි අපි ඕනෑම ලෙඩෙකුට මුල් කාලය මෙතනදීම බෙහෙත් කරනවා. ඇස්‌වල සුද ඒම ඇතුළු සියලු අක්‌ෂි රෝග නිට්‌ඨාවටම සුව කිරීමට අපට මේ නිසා හැකියාව ලැබී තිබෙනවා.
ලොකු වෙද මහත්තයා තම පුතා ගැන කතා කළේ මෙසේය.
ඇත්තෙන්ම මගේ පුතා ගැන මට ආඩම්බරයක්‌ තියෙනවා. මගේ පියාගේ වෙදකම මම කළා. දැන් මගේ පුතා කරනවා. මගේ පුතාටත් මම කියල තියෙන්නේ මේ වෙදකම ඉදිරියට ගෙන යන්න කියලයි. මොකද මම මෙම වත්තේ බෙහෙත් පැළ දහස්‌ ගණනක්‌ වවල තියෙනවා. මේ වෙදකම කරගෙන ගියේ නැත්නම් ඊළඟ පරම්පරාව මේවා දරට විකුණාවි. නැත්නම් ලෑලිවලට විකුණාවි. එතකොට වෙදකමත් අපේ කමත් දෙකම රටෙන් නැතිවේවි. ඒක වළක්‌වන්න තමයි මගේ උත්සාහය වුණේ. 
අනික තමයි ලෙඩාට මුදල් නැත්නම් ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා ප්‍රතිකාර කරනවා. ඔහුට අවශ්‍ය ආහාර පමණක්‌ නොවෙයි බස්‌ එකේ එන්න මුදල් පවා ලබාදෙනවා. මොකද මෙතනට එන රෝගීන්ගෙන් 20% ක්‌ විතර මුදල් නැති බොහෝ දුප්පත් අය. ඒ වගේම අපි සනීප කරපු රෝගීන් මේ ස්‌ථානයට බොහෝ උදව් උපකාර කරනවා. ගාල්ලේ එක මහත්තයෙක්‌ හැම මාසෙකම අපට පොල් ලබාදෙනවා. ඒක අපට හයියක්‌ මොකද මෙතනට බොහෝ වෙලාවට එන්නේ දුප්පත් මිනිස්‌සු නිසා. නමුත් එක දෙයක්‌ කියන්න ඕන රජයෙන් හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් නම් අපට හෝ මේ ස්‌ථානයට කිසිම උදව්වක්‌ මේ වනතුරුත් ලැබිල නැහැ. දේශීය වෙදකම නගාසිටුවනවා කියල කිව්වත් දේශීය වෙදකම රැකගන්න අපට කිසිම උදව්වක්‌ නොකිරීම ගැන කනගාටුයි.

අපි මෙම ස්‌ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කිහිපදෙනෙකු සමග කතා කිරීමට ද අමතක නොකළෙමු.
සේන ගනේවත්ත මහතා 
මට හැදිලා තිබුණේ ඒඑම්ඩී කියන අක්‌ෂි රෝගය කියල එකක්‌. මගේ පෙනීම රැල්ලක්‌ යනවා වගේ තිබුණා. ඒකට ඉංගී්‍රසි බෙහෙත් ගත්තා. ඉංගී්‍රසි වෙදකමෙන් මගේ ලෙඩ් සුව කරන්න බැහැ කිව්වා. මොකද මගේ වයසත් අවුරුදු හැටතුනක්‌. ඊට පස්‌සේ මම පත්තරේක දැකල මේ වෙද මහත්තයා හොයාගෙන ආව. මම මෙතන්ට ආවේ තව කෙනෙක්‌ව අල්ලගෙන. ඒ තරම් මගේ ඇස්‌ දෙක පෙනුනෙ නැහැ. වෙද මහත්තයා මගෙන් ඇසුවා මගේ මූන පේන්නේ නැහැ නේද කියල. මම කිව්ව ඔව් කියල. ඊට පස්‌සේ වෙද මහත්තයා දවස්‌ 10 ක්‌ ඇස්‌ දෙකට පත්තු දැම්මා. එකොළොස්‌ වැනි දවසේ මට ටික ටික පේන්න ගත්තා. දැන් මගේ ඇස්‌ දෙක බොහොමයක්‌ දුරට පේනව. දැන් පත්තරවල අකුරු කියවන්න පුළුවන්. තනියම බස්‌ එකේ යන්න පුළුවන්. 
මාලනී ඕපනායක මහත්මිය 
මගේ දුවගේ වයස අවුරුදු 17 යි. එයාට තිබුණේ ඇස්‌ දෙකෙන්ම පේන්නේ බොඳ වෙලා. වෛද්‍යවරු කීවා ලෙන්ස්‌ එකක්‌ දාන්න කියලා. ඒක ඇහේ තියෙනකම් විතරයි පේන්නේ. ඊට පස්‌සේ මේ වෙද මහත්තයා ගැන ආරංචියක්‌ ලැබිල මම දුව එක්‌කගෙන ආවා. දැන් නම් මගේ දුවට බොහොමයක්‌ දුරට සනීපයි. 
ධම්මිකා ඈපා මහතා 
මගේ පුතාට දවසක්‌ හදිසියෙම උණ ගත්ත. උණට ගහපු එන්නත් වැරදිල පුතා ලෙඩ වුණා. ඊට පස්‌සේ දොස්‌තර මහත්වරු කිව්වා පුතාට ගහපු එන්නත එයාට අසාත්මික වෙලා කියල. කොහොම හරි පුතාගේ මුළු ඇඟේම හම ගැලවෙන්න පටන් ගත්තා. ඇඟිලි විස්‌සෙම නියපොතු ගැලවී වැටුණා. ඇස්‌ අරින්න බැරිව ගියා. ඇස්‌වල කඳුළු ගැලීම නතරවෙලා. ඇහැ ඇලිලා. බටහිර වෛද්‍යවරු කීවා පුතාට ස්‌ටීවන් ජොන්සන් කියන ලෙඩේ හැදිල කියලා. ඉතින් ඒ අය හැමදාම හතර දෙනෙක්‌ මගේ පුතාව අල්ලලා ඇස්‌ දෙක ඇරල පිහදානව. ඒක බලාගෙන ඉන්න බැරි තරම් දෙයක්‌. පුතා කෑගහල අඬනවා. පස්‌සේ ඒ අය කිව්ව ඇස්‌ දෙක සුව කරන්න බැහැ කියල. කොහොම හරි පුතාගෙ වාසනාවට මේ ස්‌ථානය ගැන අපිට ආරංචි වෙලා මෙතනට ආවා. ඇවිල්ල වෙදකම් කළා. දැන් පුතා ඉස්‌කෝලෙත් යනව. ඇස්‌ දෙකම පේනවා. වෙනදා වගේ ඇස්‌ කකියනව කියල කියන්නේ නැහැ. දැන් බොහෝ දුරට සනීපයි.
රුවන් කළුආරච්චි

මේ වෙද මහත්තයා ඉන්නේ පානදුර හිරණේ… පාණදුර බස් ස්ටෑන්ඩ් එකේන් බැහැලා රු 12 ක විතර දුරක් තියෙන්නේ. පානදුර – හිරණ බස් එක තියෙනවා ස්ටෑන්ඩ් එකේ. කොන්දොස්තර මහත්තයාට කිව්වම ඇස් වෙද මහත්තයා ගාවින් බස්සන්න කියලා එතනින් බස්සනවා.

free counters