ගුණ වස විස නසන කළුකැම්මේරිය
ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉබේ වැවෙන මෙතෙකැයි කිව නොහැකි තරමේ පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් පොහොසත් ඇතැම් ශාක ප්‍රභේද, දැන් කාලේ බොහෝ උදවිය වල් පැළෑටි ලෙස සලකා උදලු ගා දමනු දකින්නට පිළිවන්.
"කළුකැම්මේරිය" නොහොත් "තැම්බේරියා" නමින් හඳුන්වන පැළෑටිය ද එකල ගැමියන් රසවත් පළාවක් ලෙසත්, ගැමි ළමුන් මෙම ශාකයේ ඉදුණු ගෙඩි මිහිරි පලතුරක් ලෙසත් ආහාරයට ගත්තා. දැන් කාලේ ළමුන් ගේ ආහාරයට අම්මලා තාත්තලා ඒරොප්පෙන් මිදි, ඇපල්, නාරං එහෙම ඉම්පෝට් කරලා දෙන නිසා, ඇතැම් අම්මලා මේ ගෙඩි වස ගෙඩි කියල ළමුන්ට අල්ලන්නවත් දෙන්නේ නෑ.
ඇතැම් ගැමියන් හා දේශීය ආයුර්වේද වෛද්‍යවරු පමණක් දන්නා මෙම පැළෑටියේ ගුණ කන්දරාව නූතන පර්යේෂණ මගිනුත් දැන් ඔප්පු වෙලා. ඒ නිසා සල්ලි දීලා උජාරුවට වස කන සමාජයක් තුළ, අපේ රටේ ඈයින්ගේ පෝෂණයට මෙන්ම, රෝග වළක්‌වා ගැනීමටත් ඉවහල් වන මෙම කළුකැම්මේරිය පැළෑටිය ගැන අද සොයා බලමු.
අඩි 2 ක් 3 ක් පමණ උසට වැවෙන මෙම ඒක වාර්ෂික ශාකය, සොලනේසි කුලයට අයත් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Black night shade, Sun berry, Wonder cherry යන නම් වලින් හඳුන්වනවා. කඳ දෙබෑ වී අතු බෙදෙන මේ ශාකයේ පත්‍ර බහුලයි. ඒවා ඒකාන්තරයි. ලන්සාකාර හැඩයක් ගන්නා අතර, පත්‍ර අග තීව්‍ර ස්‌වරූපයක් ගන්නවා.
සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්‌වා මල් හට ගෙන දම්පාට හෝ කළු පැහැයට හුරු වර්ණයකින් යුතු ගෝලාකාර ගෙඩි පොකුරක් ලෙස හට ගන්නවා. ඒවා පලතුරක් ලෙස ගැමි ළමුන් ආහාරයට ගන්නවා.
ආයුර්වේද ඔසුවක් ලෙස....
සංස්‌කෘත භාෂාවෙන් "කාකමාවී", "බහුඵලා", "මත්ස්‍යාක්‍ෂි" වැනි නම් වලින් හඳුන්වනවා. කළුකැම්මේරිය තිත්තයි. ගුණයෙන් පොහොසත්. ඇසට හිතකරයි. ශුක්‍ර වඩවයි. විවිධ රුජා, අර්ශස්, ඉදිමුම්, කුෂ්ඨ, හෘද රෝග ආදියට හා මී විෂට ප්‍රතිකාර වශයෙන් කළුකැම්මේරිය යොදනු ලබනවා.
පෝෂණ විත්ති
කළුකැම්මේරිය පත්‍ර තුළ. ප්‍රොaටීන් 5.9% ක්, අත්‍යවශ්‍ය මේද අම්ල 1% ක්, කාබෝහයිඩේ්‍රට් 8.9% ක්, කැල්සියම්, පොස්‌පරස්, යකඩ වැනි ඛනිජ ලවණ 2.1% ක් සහ රයිබෝµaලෙවින්, විටමින් සී වැනි විටමින් වර්ගත් අඩංගු වෙනවා. ඒ අනුව මෙම ශාකය, මෙරට ජනයාට නොමිලේ ලබා ගත හැකි හොඳ පෝෂණීය ආහාරයක් බව පැහැදිලියි.
නූතන පර්යේෂණ තතු විත්ති
Solanum nigrum යන නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන මෙම පැළෑටිය පිළිබඳව ඉන්දියාවේ සහ වෙනත් රටවල කර තිබෙන පර්යේෂණ වලින් විශ්වාස කළ නොහැකි තරම් සෞඛ්‍යය රැක දෙන ගුණයන්ගෙන් සමන්විත වන බව සොයාගෙන තිබෙනවා.
ආහාර ජීර්ණ පද්ධතියේ නිසි පැවැත්ම උදෙසා....
මෙම පැළෑටියේ පත්‍ර ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගාබාධයන් සුව කරන ඖෂධීය යුෂයක් ලෙස භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා. ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවා, පෝෂක කොටස් අවශෝෂණය ට උදව් වෙමින් සහ ශරීරයට අනවශ්‍ය විස ද්‍රව්‍යයන් බැහැර කිරීම සඳහා මෙම පැළෑටියේ පත්‍ර සතු පුදුමාකාර හැකියාව පිළිබඳ පර්යේෂකයන් මවිතය පළ කර තිබෙනවා. තවද මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන්, මළ බුරුල් කරන ගුණයක් ලැබෙන බවත්, ආහාර රුචිය වර්ධනය කරවන බවත් සොයාගෙන තිබෙනවා.
ගැස්‌ට්‍රයිටිස් රෝගයට....
මෙම පැළෑටිය තුළ අන්තර්ගත වන ස්‌ටිරොයිඩ වල බලපෑමෙන්, පෙප්සීන් හා හයිෙඩ්‍රාක්‌ලෝරික් අම්ලය ශ්‍රාවය වීම අඩු කරන බැවින්, ආමාශයේ රෝග, විශේෂයෙන් ආමාශයික වණ සුව කිරීම සඳහා සහ ආමාශයේ දැවිල්ල (Gastritis) සමනය කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින බවත්, අතීසාර රෝගය සහ අජීර්ණ රෝග සඳහා වෙනත් පලතුරු යුෂ සමඟ හෝ කළුකැම්මේරිය පත්‍ර යුෂ පමණක් හෝ පානය කිරීමෙන් සුවය ලැබිය හැකි බවත් පැවසෙනවා.
වේදනා නාශකයක්, උණ රෝගය සමනය කිරීමට....
ශරීරයේ වේදනාව හා දැවිල්ල හා උණ සන්සිඳවීමේ ඖෂධීය ගුණයකුත් මෙහි පත්‍ර සහ ගෙඩි සතුව පවතිනවා. විශේෂයෙන් මෙහි පත්‍ර යුෂ උණ රෝගයේදී ශරීරය සිසිල් කිරීම සඳහා යොදා ගත හැකි බවත් සොයාගෙන තිබෙනවා.
ශ්වසන රෝග සඳහා....
ඇදුම රෝගය සහ ශ්වසනාබාධ, සෙම් හා පීනස රෝග සඳහාත් මෙම ශාකය ගුණදායක වන බව සඳහන් කළ යුතුව තිබෙනවා.
චර්ම රෝග සඳහා....
සම මතුපිට සිදු වන තුවාල, ඉදිමුම්, වන, දද, කුෂ්ඨ, පණු කැවිලි වැනි තත්ත්වයන් සුව කිරීම සඳහා ද මෙහි පත්‍ර සිහින්ව අඹරා යෙදිය හැකි බවත් පැවසෙනවා.
රුව වඩන ආලේපයක් ලෙස.....
ඉදුණු කළුකැම්මේරිය ගෙඩි යුෂ මුහුණේ ගැල්වීමෙන් මුහුණේ ඇති වන කළු ලප, දුර්වර්ණ වීම් (freckles) සුව කිරීම සඳහා අනගි ඔසුවක් ලෙසත් භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා.
දියවැඩියා රෝගීන්ට....
මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගීන් සඳහාත් සහනයක් ලැබෙන බව පැවැසිය යුතුය.
සිරෝසිස් රෝගයට...
අක්‌මාවේ හට ගන්නා සිරෝසිස් රෝග තත්ත්වය සඳහා ද ඔසුවක් ලෙස කළුකැම්මේරිය පත්‍ර යුෂය භාවිතයට ගත හැකි බවත් පැවසෙනවා.
ආහාරයට ගැනීම...
මෙම පැළෑටියේ පත්‍ර, ගා ගත් පොල් සමඟ පිස, සතියකට වරක්‌වත් ආහාරයට ගැනීමෙන් (ලංකාවේ මැල්ලුම් පිස ගන්නා ක්‍රමයට) ශරීරයේ ලේ පිරිසිදු කර, ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහපත් ව පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වන බවත්, මෙහි පත්‍ර යුෂ දෙහි, දොඩම් හෝ වෙනත් පලතුරු යුෂ සහ පොල් වතුර, පොල් කිරි හෝ එළකිරි සමඟ සතියකට වරක්‌වත් ආහාරයට ගැනීමෙන් රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත්ව හා නිරෝගීව පවත්වාගෙන යැමටත් මුත්‍ර වාහිනී පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂමව සිදු වීමටත් ඉවහල් වන බවත් පර්යේෂකයන් අවධාරණය කරනවා.
ළදරුවන් නිදි කරවීම සඳහා චෙකොස්‌ලෝවැකියාවේ බොහීමියාව නමැති ප්‍රදේශයේ මෙම පැළෑටියේ පත්‍ර තොටිල්ල යටින් තබන බව පැවසෙනවා. මෙම ශාකයේ අඩංගු වන saponins වැනි ස්‌ටිරොයිඩ සහ ඇල්කලොයිඩ වල බලපෑම නිසාවෙන් නිදි මත වර්ධනය කෙරෙන බව, විද්‍යාත්මකව සනාථ කෙරී තිබෙනවා. මෙම ගුණය පිළිබඳ අපේ රටේ ගැමියන් ද දැන සිටිය බව සඳහන් කළ යුතුයි.
අහිතකර ප්‍රතිඵල....
මෙම ශාකයේ විෂ සහිත ග්ලයිකෝ - ඇල්කලොයිඩ වර්ග සුළු වශයෙන් අඩංගු වන බැවින්, ඉදුණු ගෙඩි හෝ පත්‍ර, එකවර විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන්, සුළු විෂ ගතියක් ඇති විය හැකි බැවින්, එසේ නොකළ යුතු බව අවධාරණය කළ යුතු වෙනවා. (මෙම විෂ බහුලව අඩංගු වන්නේ අමු ගෙඩි තුළය)
කළුකැම්මේරිය. අර්තාපල්, මිරිස්, තක්‌කාලි ඇතුළු සියලුම සොලනේසි කුලයේ ශාක වල නිකොටීන් අන්තර්ගත වන බැවින්, හන්දිපත් රුදාව, ඔස්‌ටියෝ-ආතරයිටීස් රෝග තත්ත්වයන් උත්සන්න කළ හැකි බැවින්, එවැනි රෝගීන්ට කළුකැම්මේරිය වැඩිපුර ආහාරයට නොගැනීම යහපත් වනු ඇති.
අවසාන වශයෙන් අපේ රටේ මෙන්ම, ලොව විවිධ රටවල් වලත් සාම්ප්‍රදායික වෛද්‍ය කර්මයෙහිලා මෙන්ම ආහාර සකස් කිරීමේ දී ද කළුකැම්මේරිය ශාකයේ පස් පංගුව භාවිතයට ගැනෙන බව සඳහන් කළ යුතු වෙනවා.
ආහාරයක් මෙන්ම ඖෂධයක් වශයෙන් ද "කළුකැම්මේරිය" සතු ගුණයන් මොතකැයි කියා නිම කළ නොහැකි තරම් බව ඔබට දැන් වැටහෙනවා ඇති.
නොමිලේ ලබා ගත හැකි ස්‌වාභාවික ආහාර සතු මෙවන් ගුණයන් පිළිබඳ වාණිජ සමාජයන් තුළ ඉහළට එසවෙන්නේ නැත. එසේ කිරීමෙන් කිසිවකු ගේ හෝ වාණිජ පරමාර්ථ සාධනය වන්නේද නැත. ඒ වෙනුවට අපේ පැරැන්නන් අවුරුදු දහස් ගණනක් තිස්‌සේ ඔවුන් සතු ව්‍යවහාරික ඥනයේ බල මහිමයෙන් ආහාරයට ගත්, ඔවුන්ගේ දිවි සුරැකි ස්‌වාභාවික ආහාර වර්ග කිසිදු වැදගැම්මකට නැති තුට්‌ටු දෙකේ ආහාර ලෙස සලකා අවඥවේ කෙවිටෙන් තලා බැහැර කෙරෙනු ඇති.
සියයට එකසිය විස්‌සක් ඉහෙන් බහින ලෙඩක් නොමැතිව ජීවත් වුණු, වර්තමාන අපේ පරම්පරාවට තවමත් අංශු මාත්‍රික මතකයන් ශේෂ කර ඇති අපේ ආදරණීය සීයලා ආච්චිලා ගේ ජීවන රටාව, ඔවුන්ගේ ආහාර රටාව තුළ මානව වර්ගයාගේ නිරෝගී බවේ සලකුණු සටහන් ව ඇති බවයි.
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇල්ල
2013 සැප්තැම්බර් 29 ඉරිදා දිවයින
2013 දෙසැම්බර් 29 ලක්බිම
දියවැඩියාව නිසියාකාරව පාලනය නොකළහොත් මස්තිෂ්ක පටක ප්‍රදාහය නොහොත් “ක්‍රිප්ටොකෝකස්” නමැති බරපතළ රෝග තත්ත්වයක් ඇතිවිය හැකි බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය
අනිල් සමරනායක පවසයි.මෙම රෝගී තත්ත්වය දියවැඩියා රෝගීන්ට පමණක් නොව ඒඩ්ස් රෝගීන්ටද වැළඳිය හැකිය.
එච්අයිවී ආසාදිතයන්ගේ රෝග තත්ත්වය උත්සන්න වී ඒඩ්ස් තත්ත්වයට පත් වූ විට “ක්‍රිස්ටොකෝකස්” නමැති දිලීර ආසාදනයට ලක්ව මරණයට පත් වීමේ අවදානමක් තිබේ.
මෙම දිලීරය නාස් කුහරයේ ආසාදනය වෙන අතර එමගින් ශ්වසන මාර්ගයට බරපතළ හානි කරන බවද වෛද්‍ය සමරනායක පවසයි. දියවැඩියාව වැළඳුන රෝගීන් ඔවුන්ගේ රෝගය පාලනය කිරීමට නියමිත ඖෂධ නොගැනීම හේතුවෙන් මේ වන විට මෙම බරපතළ දිලීර රෝගයට ගොදුරු වී සිටින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ක්‍රිස්ටොකෝකස් නමැති බරපතළ රෝග තත්ත්වය හඳුනාගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ ඉතා මිල අධික බැවින් එම පරීක්ෂණ රජයේ රෝහල්වල කිරීමට තිබෙන හැකියාව
පිළිබඳ සොයා බලන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දී ඇත.
ශ්‍රියානි විජේසිංහ
ගැස්ට‍්‍රයිටීස් හඳුනාගැනීමට සිදු කරන පරීක්ෂණ
ගැස්ට‍්‍රයිටීස් නැතිනම් ආමාශ දාහය රෝගය මේ වන විට ඉතාමත් බහුල රෝගයක් බවට පත්වෙලා.
බඩ පිපුම, බඩ දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට උගුරට එන ගතිය වැනි ලක්ෂණ ගැස්ට‍්‍රයිටීස් රෝගයේ ලක්ෂණ වුවත්, එම ලක්ෂණ වෙනත් භයානක රෝගයක ලක්ෂණ ද විය හැකි නිසා, එම ලක්ෂණ තිබූ පමණින් ‘ගැස්ට‍්‍රයිටීස්’ කියා නිගමනය කර හිතුමතයේ ඖෂධ නොගත යුතු බවත් පසුගිය සතියේ අප සඳහන් කළා.
ඒ අනුව ඉහත රෝග ලක්ෂණ ඇති අයකු අනිවාර්යයෙන්ම පිළිගත් වෛද්‍ය විශේෂඥවරයකු වෙත යා යුතු වනවා. එහිදී වෛද්‍යවරයා රෝගය හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ ගණනාවක්ම තිබෙනවා.
Ultrasound Scan, Endoscopy යන පරීක්ෂණ අක්මාවේ කි‍්‍රයාකාරිත්ව දැක්වෙන ලේ පරීක්ෂණය, (Liver Function test)වකුගඩු කි‍්‍රයාකාරිත්වය දැක්වෙන ලේ පරීක්ෂණය, ඇලදිවේ කි‍්‍රයාකාරිත්වය දැක්වෙන ලේ පරීක්ෂණය මේ අතරින් ප‍්‍රධානයි.
මෙම පරීක්ෂණ සිදු කිරීම මඟින් වෛද්‍යවරයා මෙය ගැස්ට‍්‍රයිටීස් රෝගයද, වෙනත් අවයවයක රෝගයක් ද යන්න නිගමනය කරනවා.
නවලෝක රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මයියා ගුණසේකර
|
මෙහිදී පිත්තාශයේ ගල්, අක්මාවේ පිළිකා, මහාන්ත‍්‍රයේ පිළිකා මේ ආදී රෝග ඇති බව හඳුනා ගත හොත් ඊට අදාළ ප‍්‍රතිකාර සඳහා යොමුකරයි.
Ultrasound Scan පරීක්ෂණය මඟින් සිදුකරන්නේ උදර කුහරයේ පිහිටා ඇති ඝණ ඉන්ද්‍රියයන් වල තත්ත්වය පරීක්ෂා කිරීමයි.
මෙය ඉතාමත් පහසු සරළ පරීක්ෂණයක් වන අතර, රෝගියා ඇඳක සතපවා ඇතුළත ඉන්ද්‍රියයන්වල තත්ත්වය පරීක්ෂා කරයි.
මේ සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක කාලයකි. එයින් සෑහීමකට පත් නොවී එම අවයවවල තත්ත්වය වඩාත් සියුම්ව පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් CT Scan පරීක්ෂණයක් වෛද්‍යවරයා විසින් සිදුකරයි.
එය X කිරණ පරීක්ෂණයක් වන අතර ඒ මඟින් ශරීරයේ අවයවවලඔ කිරණ ඡායාරූප විශාල ප‍්‍රමාණයක් ලබාදෙයි. මෙම CT Scan පරීක්ෂණය මඟින් ශරීරයේ අවයවවල ආබාධ 100% ක්ම සොයාගත හැකියි.
මීළඟට සිදුකරන තවත් වැදගත්ම පරීක්ෂණය වන්නේ Endoscopy පරීක්ෂණයයි. ආමාශයේ හෝ මහ බඩවැලේ ඇතුළේ පටලවල තත්ත්වය ඒ ආකාරයටම මෙම පරීක්ෂණය මඟින් බලාගත හැකිය.
මෙහිදී ආමාශය පරීක්ෂා කිරීම Gastroscopy ලෙසත් මහ බඩවැල පරීක්ෂා කිරීම Clonoscopy ලෙසත් හඳුන්වනවා. මෙහිදී සිදුකරන්නේ කැමරාවක් ශරීරය ඇතුළට යවා පරීක්ෂා කිරීමයි.
මෙහි අග කෙළවරේ කැමරාව අඩංගු දිගු බටය අපේ සුළැඟිල්ලක තරම් ප‍්‍රමාණයක් වන අතර, ආමාශය පරීක්ෂා කිරීමේදී මේ කැමරාව අඩංගු බටය මුඛයෙන් ඇතුළු කෙරෙනවා.
මෙහිදී ඇතිවන අපහසුතාව අවම කිරීම සඳහා උගුර හිරිවැටීම සඳහා බෙහෙතක් ආලේප කර (එන්නත් කර) කැමරාව ඇතුළු කෙරෙනවා.
මේ පරීක්ෂණය හඳුන්වා දුන් අවධියේ එම බටය මහපටැඟිල්ලක් තරම් විශාල වූ අතර, බටයේ ඉහළ කෙළවරට ඇස තබා පරීක්ෂා කිරීම සිදු කෙරුණා.
එහෙත් වර්තමානයේ එම කැමරාව මඟින් ලැබෙන ඡායාරූප අඟල් 22 පමණ විශාල රූපවාහිනී තිරයක් මඟින් වඩාත් පැහැදිලිව දැකගත හැකියි.
මෙහිදී ආමාශයේ හෝ මහ බඩවැලේ ඇතුළේ වර්ග සෙන්ටිමීටරයක තරම් කුඩා ප‍්‍රමාණයක්, රූපවාහිනී තිරයේ වර්ග අඩියක් තරම් ප‍්‍රමාණයක් දක්වා විශාල ලෙස දිස්වනවා.
මෙසේ පරීක්ෂා කිරීමේදී ආමාශයේ තුවාල, සිදුවී තිබේ නම් එම ස්ථාන කිහිපයකින් ලබාගන්නා කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කරනවා.
(Biopsy) මේ මඟින් එම තුවාල Helicobacter pylori ක්ෂුද්‍ර ජීවියා මඟින් ඇති කරන්නක් ද කියා ස්ථිරවම දැනගත හැකියි.
මෙලෙස ඉහත සඳහන් කළ පරීක්ෂණ සිදු කර වෙනත් අවයවවල කිසියම් දෝෂයක් නොමැති බව තහවුරු වුවහොත් පවතින අසනීපය ගැස්ට‍්‍රයිටීස් බව වෛද්‍යවරයාට නිගමනය කිරීමට හැකියි.
කිසියම් අයකුට තිබෙන්නේ ගැස්ට‍්‍රයිටීස් ආබාධය නම් එය පහත සඳහන් එක් ආකාරයකට හෝ ආකාර කිහිපයකට පැවැතිය හැකියි.
ආමාශයේ ඇසිඩ් ගතිය වැඩිවීම, ක්ෂුද්‍රජීවියා මඟින් ආමාශයේ තුවාල සිදුවීම, ආමාශයේ කපාටය දුර්වල වීම මේ අතරින් ප‍්‍රධානයි.
මෙයින් රෝගියාට ඇත්තේ ආමාශයේ ඇසිඩ් ගතිය වැඩිවීමේ තත්ත්වයක් නම් එයට ඇසිඩ් ගතිය අඩු කිරීමට බෙහෙත් ලබා දිය යුතුයි. ඒ වගේම ඇසිඩ් ගතිය වැඩිවීමට බලපාන හේතුව සොයා ඊට පිළියම් යෙදිය යුතුයි.
වර්තමානයේ බොහෝ දෙනෙක් ජීවිතයේ එක් එක් ඉලක්කයන් ජය ගැනීමට සිතා කාර්ය බහුල ජීවිතවලට යොමුවෙති.
මෙහිදී ඇතිවන කලබලකාරී බව, අවිවේකී බව මෙන්ම ජීවිතයේ අක‍්‍රමවත් බව නිසා පීඩනයට ලක්වෙති.
මෙසේ පීඩනයට (Tension) ලක්වීම ආමාශයේ ඇසිඩ් වැඩිවීමට සෘජුවම බලපාන බැවින්, මෙවන් රෝගීනට ජීවිතය කිසියම් පිළිවෙළකට, කාලසටහනකට අනුව ගත කරන්නට ඒ තුළින් හොඳ ආහාර පුරුදු ඇතිකරගන්නට උපදෙස් (උපදේශනය) ලබා දෙන අතර, ඇසිඩ් අඩු කිරීමට ඖෂධ ලබාදිය යුතුයි.
මේ සඳහා ඩමිපේරසෝල් වැනි ඖෂධයක් ලබාදීමෙන් ඇසිඩ් ගතිය සම්පූර්ණයෙන්ම අඩුකර ගත හැකියි.
රෝගියාට ඇත්තේ ඊළඟ අවස්ථාව එනම් හෙලිකොබැක්ටර් පයිලොරි කියන ක්ෂුද්‍ර ජීවියාගේ ආසාදනයක් නම්, එම ක්ෂ්ද්‍රජීවියා විනාශ කිරීමට සහ ඒ මඟින් ඇතිවී ඇති තුවාල සුවවීමට ඖෂධ ලබා දිය යුතුයි.
ආමාශයේ ඇතිවන තුවාල මෙම ක්ෂ්ද්‍රජීවියා මඟින් සිදුවන බව සොයාගනු ලැබුවේ 1970 අග භාගයේ වන අතර, ඊට පෙර මෙවැනි තුවාල සඳහා සැත්කම් සිදුකිරීම ප‍්‍රතිකර්මය වුණා.
එහෙත් මෙම ක්ෂ්ද්‍රජීවියාගේ බලපෑම පිළිබඳව නිශ්චිත සොයා ගැනීමෙන් පසු ඒ සඳහා ඖෂධ නිෂ්පාදනය වුණා. ඒ අනුව වර්තමානය ගැස්ට‍්‍රයිටීස් රෝගය පිළිබඳව ආමාශයේ ශල්‍යකර්ම 90% පමණ අඩුවී තිබෙන අතර ඖෂධ මඟින් ක්ෂ්ද්‍ර ජීවියා විනාශ කිරීමෙන් ස්ථිර සුවයක් ලද හැකියි.
හෙලිකොබැක්ටර් පයිලොරි ක්ෂ්ද්‍රජීවියා අපගේ මුඛය මඟින් ආමාශයට ඇතුළු වන අතර, ආමාශයේ ඇති අම්ලය ඌට ජීවත්වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරයි.
එම අම්ල ජීරණය මඟින් ක්ෂ්ද්‍ර ජීවියා යූරියා නිපදවන අතර, එය ආමාශයේ ශ්ලේෂ්මල පටලයට දැඩි හානිකරයි. මේ නිසා ආමාශ සෛල ඇසිඩ්වලට නිරාවරණය වීමෙන් තුවාල සිදුවන බැවින් ප‍්‍රතිකාර කිරීමේදී ක්ෂ්ද්‍රජීවියා විනාශ කිරීමටත් ඇසිඩ් ගතිය අඩුකිරීමටත්, තුවාල වියළීම සඳහාත් ඖෂධ ලබාදිය යුතුයි.
මේ නිසා අප හොඳ ආහාර පුරුදු ඇතිකර ගත යුතු වනවා. අපිරිසුදු ආහාරවලින් වැළකීම ආහාර ගැනීමට පෙර හොඳින් අත් සෝදා ගැනීමත් ඉතා වැදගත්.
මෙම ක්ෂ්ද්‍රජීවියා සඳහා ප‍්‍රතිකාර කිරීමේදී සමහර ඖෂධ ඌට ඔරොත්තු දෙන බැවින්, එවන් අවස්ථාවක ඌ විනාශ කළ හැකි ඖෂධ හඳුනාගෙන ලබාදීමට වෛද්‍යවරයා කි‍්‍රයා කරනවා.
වේදනාවට බොන සමහර පෙති නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්
කොළඹ ජාතික රෝහලේ
ආමාශයික සහ ආන්ත්‍රික රෝග පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
රනිල් ජයසේන.
දවස් ගණනාවක ඉඳල මගෙ බඩේ දැවැල්ලක් තියෙනවා. ගැස්ට්‍රයිටිස් වාගේ. මොනවා කරන්නද කියල මට තේරෙන්නේ නෑ. හරිම වේදනයි.” මේ අද බොහෝ අවස්ථාවල බොහෝ ස්ථානවල අසන්නට ලැබෙන කතාවකි.
ගැස්ට්‍රයිටිස් රෝගය අද සමාජයේ ඒ තරමට ම බහුලය. බොහෝ දෙනෙක් මෙම රෝගය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්වූව ද එය බොහෝ දරුණු සංකූලතා ඇති කිරීමට සමත් රෝගයකි. එබැවින් ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව නිවැරදි දැනුමක් ලබා තිබීම වැදගත් ය.
ආමාශයේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වන බව පැහැදිලි ය. ආමාශයට අමතරව ගලනාලයේ ද ග්‍රහනියේ ද එම ප්‍රදාහ තත්ත්වය ඇතිවීමේ හැකියාව ඇත. ආමාශයේ ගලනාලය සහ ග්‍රහනියේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් එකිනෙකට යම් දුරකට වෙනස් වුවද සාමාන්‍ය මහජනතාව එම අවස්ථා තුනේදීම ඇතිවන රෝගී තත්ත්වය හඳුන්වනු ලබන්නේ ‘ගැස්ට්‍රයිටිස්’ ලෙස ය.
මෙම ප්‍රදාහ තත්ත්වය ආමාශයේ පමණක් පවතී නම් එය gastritis ලෙස ද ගලනාලය පමණක් පවතී නම් එයgastro oesophagatis ලෙස ද ග්‍රහනිය පමණක් පවතී නම් gastro duodeuitis ලෙස ද, එම ස්ථාන තුනේ ම පවතී නම් Oesophago gastro duodeuitis ලෙස ද හඳුන්වනු ලැබේ. සාමාන්‍ය ජනතාව ඉහත අවස්ථා හතර හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය ලෙස ය.
ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ ලෙස උදර කොටසේ දැවිල්ලක් ඇතිවීම, අධික ලෙස කුසගින්න ඇතිවීම, උදරය මිරිකනවා සේ දැනීම, පපුව ආශ්‍රිතව දැවිල්ලක් ඇතිවීම, පපුව සිරකරන්නා සේ දැනීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. බොහෝ විට පපුව සිරකරන්නා සේ දැනීම සමඟ පපුවේ දැවිල්ලක් ඇතිවන්නේoesophagatis නම් රෝග තත්ත්වයේදී ය.
එහිදී ආමාශයික යුෂ සහ පිත ඉහළට ගමන් කර ගලනාලය කෙළවර සිරවිය හැකි ය. එවිට ගලනාලයේ කෙළවර පේෂි අධික ලෙස සංකෝචනය වේ. බොහෝ විට පපුව සිරකරනවාසේ දැනෙන්නේ මෙම අවස්ථාවේදීය. මෙවැනි රෝග ලක්ෂණයක් පහළ වූ විට ඇතැමුන් හෘදයාබාධයක් දැයි බියට පත් වේ. එසේ ම හෘදයාබාධයකදී ඉහත රෝග ලක්ෂණ මතු වූ විට ගැස්ට්‍රයිටිස් රෝගය යැයි කියා වැඩි සැලකිල්ලක් නොදැක්වීමටද ඉඩ ඇත.
ආමාශය ආශ්‍රිතව ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේදී ආහාර ගැනීමෙන් අනතුරුව රෝගය වැඩි විය හැකි ය. මේ හේතුව නිසා මෙවැනි රෝගීන් ආහාර ගැනීමට බියක් දැක්විය හැකි ය. එම හේතුව නිසා ශරීරය කෘෂ විය හැකි ය.
ග්‍රහනිය ආශ්‍රිතව ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේදී බොහෝ විට ආහාර ගත්විට වේදනාව අඩුවේ. එබැවින් ග්‍රහනියේ තුවාල ඇති පුද්ගලයන් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම නිසා ඔවුන් ගේ ශරීරය ස්ථුල වේ. එවැනි ලක්ෂණවලින් ද ගැස්ට්‍රයිටිස් රෝගයේ ස්වභාවය දළ වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව ඇත. ගැස්ට්‍රයිටිස් රෝගයේ නියම ස්වභාවය පැහැදිලි ලෙස ම හඳුනාගත හැකි වන්නේ ‘එන්ඩස් කොපි’ Endoscopyපරීක්ෂාවකට රෝගියා භාජනය කිරීමෙනි.
ගලනාලය ආශ්‍රිතව ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වූ විට පෙන්නුම් කරන ප්‍රධාන ම රෝග ලක්ෂණය වන්නේ ආහාර උගුරට ඒම ය. එය සිදුවන්නේ ආමාශයත් ගලනාලයත් අතර පවතින කපාටය (පිණ්ඩකය) ඉහිල් වූ විට ය. එම කපාටය තිබෙන්නේ ආමාශය ඇති ආහාර ඉහළට ඒම වැළැක්වීම සඳහා ය. ආමාශය තුළ වැඩිපුර ඇසිඩ් ශ්‍රාවයවීම, චොක්ලට් වර්ග ‘මයිට්’ වර්ග මේදය අධික ආහාර වැඩිපුර ආහාරයට ගැනීම මෙන් ම තවත් හේතූන් ගණනාවක් නිසාම ගලනාලය සහ ආමාශය අතර තිබෙන කපාටය ඉහිල් වේ.
ශරීරය ස්ථුලවීම ද මෙම කපාටය ඉහිල් වීමට තවත් එක් හේතුවකි. ඒ; ඔවුන්ගේ ශරීරය තුළ පවතින පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිසා ය. මෙම කපාටය ඉහිල් වූ විට ආමාශයේ ඇති පිත, ගලනාලයට ගලන නාලයේ දැවිල්ල ඇති කරයි. මෙම රෝගී තත්ත්වය හඳුන්වන්නේ reflux oesophagatis ලෙස.
අපගේ ගලනාලය ඉහළට එන්නේ මහාප්‍රාචීරය තුළිනි. ඇතැම් විට එම ස්ථානයේ මහාප්‍රාචීරයේ කුඩා සිදුරක් ඇතිවිය හැකි ය. එවිට මහාප්‍රාචීරයේ එම සිදුර හරහා ආමාශය ඉහළට ගමන් කිරීමට ඉඩ ඇත.
මෙම රෝගී තත්ත්වය Hiatus heruia ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි රෝගීන් නිදාගෙන සිටින විට කපාටයෙන් ඉහළට ආහාර ගමන් කරයි. උගුරට ඒමත් සිදුවේ.
එවැනි රෝගීන්ට නිදාගන්නා විට හිස එසවන සේ කොට්ටා තැබීමට අතීතයේදී උපදෙස් ලැබිණි. එය නොගැලපෙන බව දැන් හෙළි වී ඇත. එහිදී වඩාත් සුදුසු වන්නේ ඇෙඳ් හිස තබන පැත්ත ඉහළට එසවෙන සේ ඇදේ එම පැත්ත ඉහළට එසවීම ය. ඒ සඳහා ඇඳේ එම කකුල් දෙකට කොට කැබලි දෙකක් තැබිය හැකි ය. මෙහිදී වෛද්‍යවරු රෝගියාට ලබාදෙන තවත් උපදෙසක් වන්නේ දකුණු ඇලයට හැරී නිදාගන්නා ලෙස ය. එයට හේතුව ආමාශය වම් පැත්තේ පිහිටා තිබීම ය. දකුණු ඇලයට හැරී නිදාගත් විට ආමාශය ඉක්මනින් හිස් වේ. එවිට උගුරට ඒමත් සිදුවිය නොහැකි ය.
ගැස්ට්‍රයිටිස් රෝගය බැක්ටීරියා ආසාදනයක් නිසා ද ඇතිවේ. ඒ Helicobacter pylori නම් බැක්ටීරියා මගිනි. එම බැක්ටීරියාව ශරීර ගත වන්නේ අපි පිරිසුදු ආහාර ගැනීම මගිනි. අපගේ ආමාශයෙන් ශ්‍රාවය වන හයිඩ්‍රෝ ක්ලෝන් අම්ලයට ක්ෂය රෝග විෂ බීජය පවා විනාශ කළ හැකි වුවද ගැස්ට්‍රයිටිස් රෝගය ඇති කරන විෂබීජය විනාශ කළ නොහැකි ය. එන්ඩස්කොපි පරීක්ෂාවක් මගින් මෙම බැක්ටීරියාව පැතිරී ඇති ප්‍රදේශය පැහැදිලි ලෙස ම හඳුනා ගත හැකි ය. ප්‍රතිජීවක ඖෂධ මගින් එම බැක්ටීරියාව විනාශ කළ හැකි වන අතර එසේ ප්‍රතිකාර නොකළහොත් ජීවිත කාලය පුරාම එම බැක්ටීරියාව අපගේ ශරීරයේ ජීවත් වනු ඇත. ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ආමාශයේ ඇතිවන තුවාල පිළිකා බවට පත්වන බවට ඇතැමුන් අතර මතයක් ඇත. එය සාවද්‍ය මතයකි.
කැක්කුම් සඳහා නියම කරන NSAID කාණ්ඩයට අයත් අයිබුප්‍රොපේන්, ඩික්ලොපැනක් වැනි ඖෂධ ගැනීම නිසාද ආමාශය සීරී ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට ඉඩ ඇත. මානසික ආතතිය ද ගැස්ට්‍රයිටිස් රෝගයට හේතුවන තවත් සාධකයක් බව පෙනී ගොස් ඇත. මානසික ආතතියෙන් පෙළෙන විට ආමාශය තුළට අසාමාන්‍ය ආකාරයට හයිඩ්‍රො ක්ලෝරික් අම්ලය ශ්‍රාවය වේ. එයද ගැස්ට්‍රයිටිස් රෝගයට ඇතිවීමට හේතුවකි. මේදය අධික ආහාර නිතර ගැනීම ගැස්ට්‍රයිටිස් රෝගයට අතවැනීමකි.
ගැස්ට්‍රයිටිස් රෝගයේ අවස්ථාවන් කීපයක් ම ඇති බව පෙනේ. පළමුවැනි අවස්ථාව සියුම් ලෙස වේදනාවක් දැනෙන අවස්ථාවය. මෙම අවස්ථාවේදී එන්ඩස්කොපි පරීක්‍ෂාවක් කළ විට කිසිදු ගැටලුවක් නැති බව පෙනීමට ඉඩ ඇත. එහෙත් මයික්‍රොස්කෝප් උපකරණයක් මගින් රෝගය හඳුනාගත හැකිවනු ඇත. මෙම රෝගයේදී ආමාශය සීරී ඇති අවස්ථාව වැනි තත්ත්වයක් ද ඇත. මෙම සීරීම්වලට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඒවා ආමාශයික තුවාල බවට පත්වේ. කලක් ගතවූ විට එම තුවාල පුපුරා අධික ලෙස රුධිරය වහනය විය හැකිය.
මෙම තුවාල සුව වන විට ආමාශයේ ග්‍රහනියට යන මාර්ගය හැකිළී එහි අවහිරතා ඇතිවේ. ග්‍රස්ට්‍රයිටිස් රෝගයේදී ආමාශයේ සුළු වශයෙන් රුධිරය වහනය වී මළපහ කළු පැහැ ගැන්වීමට හැකියාව ඇත. එසේම වමනයට ඒම, කෑම අරුචි, කෘෂ වීම සිදුවේ.
ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ඉතාම සාර්ථක ලෙස අද ප්‍රතිකාර කළ හැකිය. ඉහතින් දැක්වූවාක් මෙන් එන්ඩස්කොපි පරීක්‍ෂාවකින් රෝගයේ ස්වභාවය වෛද්‍යවරයාට හඳුනාගත හැකිය. එබැවින් ඉතා සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමේ හැකියාව අද ඇත. ප්‍රතිකාර ලෙස ප්‍රධාන වශයෙන්මHelicobacter pylori බැක්ටීරියාව විනාශ කිරීමට ප්‍රතිජීවක ඖෂධ ලබාදෙයි. එසේම ආමාශයේ ආම්ලිකතාවය උදාසීන කිරීමට ඩයිජින්, මැග්නීසියම්, හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භාෂ්මික ද්‍රව්‍ය භාවිතා කරන අතර ඇසිඩ් නිපදවන සෛල අවහිර කරනOmeprazole වැනි ඖෂධයන් ද යොදා ගැනේ.
ආමාශයික වන වර්ධනය වී ඇත්නම්, ඒ සඳහා ශල්‍යකර්ම කිරීමටද ඇතැම්විට සිදුවිය හැකිය. එසේම Hitus hernia තත්ත්වය තදබල ලෙස ඇත්නම්, ආමාශය පහළට ඇද එය නැවත උරස් කුහරය තුළට ගමන් කිරීමට නොහැකිවන අයුරින් ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. මෙවැනි ප්‍රතිකාර මඟින් ද රෝගය සුව කිරීමට නොහැකි නම්, ඇසිඩ් ශ්‍රාවය වීමට උපකාරි වන ස්නායුව කපා දැමීමට සිදුවේ.
බොහෝ දෙනෙක් ඩයිජින් පෙති නිතර ගැනීමට පුරුදු වී සිටිති. එහි අහිතකර ප්‍රතිඵලයක් වන්නේ මලබද්ධය ඇතිවීමය. ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නියම කරනු ලබන Omeprazole වැනි ඖෂධ ගැනීමට වඩාත් සුදුසුම වේලාව වන්නේ උදෑසන අවදි වූ විගසය; ආමාශය හිස්ව තිබෙන වේලාවය. ඖෂධ සමඟ ජලය පානය කර පැයකට පමණ පසුව ආහාර ගැනීම සුදුසුය.
ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් යෝගට් සහ මීකිරි ආහාරයට ගැනීම පිළිබඳව සමාජයේ විවිධ මතයන් ඇත. මෙහිදී යෝගට් කෑම ගැටලුවක් නැති වුණද මීකිරි කෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය. ඒ පමණට වඩා මීකිරි කෑමට බොහෝ දෙනෙක් ඇති කැමැත්තය. යෝගට් ආහාරය ගන්නා විට ශ්‍රී ලංකාවේ නිපදවන යෝගට් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය.
ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන උදවිය ආම්ලික ස්වභාවය අධික අන්නාසි වැනි ආහාර වලින් කලක් වැළකී සිටීම ඉතා සුදුසුය. ඇතැමෙකුට ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වන්නේ ඉස්සන් කකුළුවන් දැල්ලන් වැනි ආහාර ද්‍රව්‍ය අසාත්මික වීම නිසාය. එම ආහාර හඳුනා ගැනීම ඉතා වැදගත්ය. එම ආහාර වලින් වැළකී සිටීමෙන් මෙම රෝගයෙන් වැළකී සිටිය හැකිය. එසේම අප ගන්නා ආහාර මුඛයේදී හොඳින් විකා ගිලීම ද ඉතා වැදගත්ය. ආහාර හොඳින් නොවිකා ගිල්ලවිට එම ආහාර ජීර්ණය කිරීම සඳහා වැඩි වැඩ කොටසක් කිරීමට ආමාශයට සිදුවේ. එවිට වැඩි ඇසිඩ් ප්‍රමාණයක් ආමාශයේ එක් රැස්වේ. එය ගැස්ට්‍රයිටිස් රෝගයට මූලිකම හේතුවකි. පලතුරු කෑම නිතර ජලය පානය ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මිදී සිටීමට ඉතා වැදගත්ය.
ආමාශයට නිතරම ඇසිඩ් ශ්‍රාවය වේ. එම ඇසිඩ් තනුක කිරීමට නිතර නිතර ජලය පානය ඉතාම වැදගත්ය. එසේ නැතිව එකවර වැඩි ජල ප්‍රමාණයක් පානය කර අද දවසට ම ඇතිවෙන්න වතුර බිව්වා යැයි සිතීම අනුවණ කමකි. කෑම ගත් විගස ජලය පානය කිරීම නුසුදුසු අතර වඩාත් සුදුසු වන්නේ ආහාර ගෙන පැයකට පමණ පසුව ජලය පානය කිරීමය.
පිරිසුදු ආහාර ගැනීම, ආහාර ගැනීමට වේලාවක් වෙන් කර තබා ගැනීම, ඉතා හොඳින් සහ විකා කෑම ගැනීම, දිනකට ජලය ලීටර් 2 1/2 – 3 ප්‍රමාණයක් දවස පුරාම පානය කිරීම, චොකලට් කොකෝවා වැනි ආහාර සහ මිරිස් දැමූ තෙම්පරාදු කළ ආහාර අඩුවෙන් ගැනීම, රාත්‍රියේදී ආහාර ගෙන පැය 3 කට පමණ පසුව නින්දට යාම, හිර ඇඳුම් ඇඳීමෙන් වැළකී සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි ක්‍රම අනුගමනය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් වැළකී සිටිය හැකි අතර රෝගය හටගෙන ඇත්නම් එය සුවපත් කර ගැනීමට ද හැකියාව ඇත.
ගාමිණී සුසන්ත
ගැස්ට්‍රයිටිස් නසන මහඟු ඔසුවක් මුරුංගා කොළවලින් හදන හැටි
ගැමි එළවළු වර්ග අතර මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වත්මන් පරපුර ආහාරය සඳහා එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරලෙහි පවතින රසය සහ ගුණය ඉතාමත් ප්‍රශස්තය. බොහෝ කාර්යයන් සඳහා යොදා ගන්නා ශාකයක් වන මුරුංගා වත්මනෙහි බහුකාර්ය ශාකයක් සේම අතීත වැසියන් විසින් දෙවියන් මැවූ ශාකයක් ලෙසද පිළිගනු ලැබුවේ මෙම ශාකයේ පවතින අද්විතීය ගුණය නිසාමය.
අසාමාන්‍ය ගුණ සමුදායක් පවතින මුරුංගා ශාකය ඔෟෂධයක් යැයි පැවැසුවහොත් ඇතැම් විට ඔබ මවිත විය හැකිය. එහෙත් සත්තකින්ම මුරුංගා යනු රෝග රැසකට ගුණය ලබාදෙන මාරාන්තික රෝග පවා සුව කරවන තරමේ ඔෟෂධීය ගුණයක් ඇති දිව්‍යමය ඔෟෂධයකි.
රාජගිරියේ පිහිටා ඇති කොළඹ විශ්වවිද්‍යාලය හා අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේයෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ ආයුර්වේද දැනුම සපුරාලමින් පසුවන්නීය. මුරුංගා ඔෟෂධය මඟින්ද නිරන්තරයෙන්ම ඔෟෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යයේ නිරත වන හැරපත්දෙණිය මහත්මිය මෙම ඔෟෂධයේ පවතින විශිෂ්ට රෝග නාශක ගුණය පිළිබඳව "මව්බිම"ට පැවැසීමට ඉදිරිපත් වූවාය.
"මුරුංගා කියන්නේ අතීතයේ පටන්ම අපේ ගෘහණියන් සමඟ ඉතාමත්ම සමීප එළවළුවක්. මුරුංගා ළපටි කරල් වෑජනය වගේම, මෝරපු කරල් මද තෙම්පරාදු ව්‍යාංජනයත් අපේ ගැමි කාන්තාව අතර ඉතාමත්ම ප්‍රචලිතයි. ඒ වගේම මුරුංගා කොළ මැල්ලුම වගේම මුරුංගා මල් වෑංජනයත් ඉතාම රසවත්. මුරුංගා කරල්, කොළ, මල් බහුල වශයෙන් ආහාරයට ගැනීම මඟින් ඔබට වැලඳී ඇති රෝග රැසක් සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා. සමහර විට ඔබට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මුරුංගා කොහොමද ඔෟෂධයක් වෙන්නේ ඒක එළවළුවක් විතරයි කියලා. නමුත් අපේ දේශීය ආයුර්වේදයේ මුරුංගා කියන්නේ රෝග නාශක ගුණය බහුලවම ඇති ඔෟෂධයක්. ආයුර්වේදයට අනුව මුරුංගා විවිධ නම්වලින් හඳුන්වනවා. මුරුංගා කියන්නේ ඇස් ආශි්‍රත රෝගවලට හොඳ ඔෟෂධයක්. ඒ නිසා අක්‍ෂිව කියලත් මේ ඔෟෂධීය ශාකය හඳුන්වනවා. ඒ වගේම ශෝබාංජන, තීක්‍ෂණ මූල, ශ්‍රීග්රූ යන නම්වලිනුත් මුරුංගා හඳුන්වනවා. මුරුංගා අයිති වන්නේ Moringaceae (ශෝභාංජන) කුලයට. Moringa Oleifera Lam මෙහි උද්භිද විද්‍යාත්මක නාමය.
මුරුංගා ප්‍රභේද රැසක් තිබෙනවා. එකක් තමයි හේන් මුරුංගා. ඒවායේ කරල් හීනියි. අනෙක් එක තමයි වැට මුරුංගා. වැට මුරුංගා බහුල වශයෙන් මායිම්වල රෝපණය කරනවා. යාපනයේ පැත්තේ ඒවා බහුල වශයෙන් දැකබලා ගන්න පුළුවන්. තවත් මුරුංගා ප්‍රභේදයක් තමයි මස් මුරුංගා, කල්පිටි මුරුංගා කියන්නේ. ඒවායේ කරල් විශාලයි. මද වැඩියි."
වෙනත් ශාක රෝපණය නොවන භූමියක පවා රෝපණය වීමේ හැකියාවක් මුරුංගා ශාකය සතුව පවතී. නිසරු පොළොවේ මෙන්ම මුහුදුබඩ ආශි්‍රතව පවා මුරුංගා රෝපණය කළ හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ලංකාව මුරුංගා ශාකය බහුලවම දැකගත හැකි රටවල් අතර ප්‍රමුඛතාවක් ගනී. මුරුංගා ප්‍රභේද කිහිපයක් පිළිබඳව ජේයෂ්ඨ කථිකාචාරිනිය පෙර සඳහන් කළ අතර, අප ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද 3ක් පවතින බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලට අනුව මුරුංගා ප්‍රභේද 3ක් තිබෙනවා. ඒවා තමයි රක්ත ශ්‍රීග්රූ (මල රතු පාට මුරුංගා), කෘෂ්ණ ශ්‍රීග්රූ (මල නිල් පාට මුරුංගා). ශ්වේත ශ්‍රීග්රූ (මල සුදු පාට මුරුංගා) මේ තුනෙන් නිල් සහ රතු මල් ඇති මුරුංගා ශාකය ඉතාමත් දුර්ලභයි. සුදු මල් සහිත මුරුංගා බහුලයි. මේ සෑම ප්‍රභේදයක්ම අපි ආයුර්වේදයේ ඔෟෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු
ඔෟෂධ සඳහා ගන්නවා.
මුරුංගා කියන්නේ විෂ නාශක ගුණයක් ඇති ඔෟෂධයක්. එනිසා අතීතයේ සිටම අප ගැමි ලියන් ඉස්සො, දැල්ලො වගේ ආහාර පිසින විටදී ඒකට මුරුංගා කොළ ටිකකුත් එක් කළා. ඒ වගේම මයියොක්කා උයනකොට, තම්බනකොට එහි විෂ සහිත බවක් වෙයි නම් ඒක නැති කරන්න මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේදී ඒකට දාන්න අපේ ගෘහණියන් පුරුදු වෙලා හිටියා. ඒ වගේම අච්චාරු හදනකොට ඒවා ඉක්මනින් පැසවන්න මුරුංගා පොත්තක් ඒකට එකතු කරන්නත් පුළුවන්.
ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල මුරුංගා පොතු වේළලා වෑන්ජනවලට කුළු බඩුවක් ලෙසත් භාවිත කරනවා. ඒ විදියට මුරුංගා පොතු වේළලා කුළු බඩුවක් විදියට දිනපතා වෑංජනවලට එකතු කරවා නම් රෝග රැසකින් අත් මිදෙන්න ඔබට පුළුවන්. බඩේ ගල්, පණු රෝග, මුත්‍රා මාර්ගය ආශි්‍රත රෝග, හෘදය ආශි්‍රත රෝග, අස්ථි ආබාධවලට, ශ්‍රවණ පද්ධතිය ආශි්‍රත රෝගවලට, ඇදුම, කැස්ස ආදී රෝග රැසක් සුවකර ගන්නත්, නොවැලඳී තිබෙන්නත් ඒ ක්‍රමවේදය ඉතාමත්ම හොඳයි."
මුරුංගා ශාකයේ ඇති ඔෟෂධීය ගුණය සේම එක් එක් ලෙඩ සඳහා මුරුංගා ඔෟෂධයක් ලෙස භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය. එමඟින් ඔබට වැලඳී ඇති යම් යම් රෝග සඳහා නිවෙසේ සිටම ප්‍රතිකාර ඔෟෂධ සාදාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපිය කියවීම මඟින් පැහැදිලි වනු ඇත.
"අෑත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදි, මුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශි්‍රත ආහාර ඉතාමත්ම වැදගත්.
ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඔෟෂධයක් ලෙසයි. ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශි්‍රත රෝගවලට, මුත්‍රා ගල්වලට, හෘදය ආශි්‍රත රෝගවලට, මුරුංගා වෑංංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්."
මෙයට වසර දහසකටද අෑත අතීතයක අප දේශීය වෛද්‍ය ආචාර්යවරුන් පැවැසූ දෑ අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව ජේයෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් හෘදය ආශි්‍රත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ.
මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඔෟෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවතින බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙසේය.
"මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් කියලා අපි අනුමත කරන්නේ.
මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා.
අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඔෟෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා ගන්නා හැටි මම කියන්නම්. මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඔෟෂධයක්.
ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්, හෘදය ආශි්‍රත රෝගවලටත් ඒක ගුණයි."
සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඔෟෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්නා ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"ශ්‍රවණ පද්ධතිය ආශි්‍රත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුම, කැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඔෟෂධයක් මුරුංගා කොළවලින් හදන හැටි මම කියන්නම්. මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න. ශ්‍රවණ පද්ධතිය ආශි්‍රතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි.
ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේ, දවල්, හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඔෟෂධීය පානයක්.
ගැස්ට්‍රයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක්ව අපහසුතාවට ලක් කරන රෝගයක්.ගැස්ට්‍රයිටිස්වලට හොඳ වටිනා සුවදායක ඔෟෂධයක් මම කියන්නම්. මුරුංගා කොළ මිටක් අරගෙන හොඳින් අඹරා ගන්න. ඒකට මුදවපු කිරි මේස හැඳි 5ක් එකතු කරලා දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. දින කිහිපයක් මේ විදියට කළොත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න ඔබට පුළුවන්.
මුත්‍රා ගල් හටගත් බොහෝ දෙනකුට බටහිර වෛද්‍ය ක්‍රමවේදයට අනුව තිබෙන හොඳම විසඳුම තමයි ශල්‍යකර්මයකට භාජන කිරීම. නමුත් ශල්‍ය කර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් හොඳ කෂායක් හදාගන්න හැටි මම කියන්නම්. තරමක් වියළි මුරුංගා පොතු (ගසේ පොතු) මිටක් පමණ අරගෙන වතුර පත හතරක් පමණ දමා පත එකකට සිඳුවා උදේ කාල් බාගයයි, හවස කාල් බාගයයි දිනපතාම පානය කරන්න. සති දෙකක් පමණ අඛණ්ඩවම මේ කෂාය භාවිත කළොත් මුත්‍රා ගල් අංශු බවට පත්වී දිය වී යනවා. හොඳින් මුත්‍රා පිට වීමත් මුත්‍රා දැවිල්ල ප්‍රහීන වී යන්නත් ඒක ඉතාමත්ම ගුණදායක කෂායක්.
මුත්‍රා දැවිල්ල අධික ලෙස පවතින රෝගියකුට සුදුසු ඔෟෂධීය පානයක් තිබෙනවා. පුහුල් යුෂ හරි කැකිරි යුෂ හරි වීදුරුවකට අරගෙන ඒකට මුරුංගා කොළ තළලා අරගෙන මුරුංගා කොළ යුෂ තේ හැඳි 2ක් එකට මිශ්‍ර කරලා බොන්න. මුත්‍රා දැවිල්ල නිමා වී සාර්ථකව මුත්‍රා පිටවීම එමඟින් සිදු වෙනවා".
ජේයෂ්ඨ කථිකාචාරිනිය පවසන ආකාරයට ගී්‍රස්ම සමයේදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ අසාමාන්‍ය ලෙස දහදිය බිබිළි හට ගනී. එවන් රෝගයකදී කොහොඹ කොළ සහ මුරුංගා මුල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවැතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කළ හැකිය. මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් ලබා ගැනීමට එය ඉතාමත් උචිත ආලේපයකි. සමේ ආලේප කොට පැය 2ක් පමණ නිදහස්ව හිඳ පසුව නෑම සුදුසු බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"ඇතැම් තරුණියන්ගේ මෙන්ම තරුණයන්ගේත් මුහුණේ කුරුලෑ, ලප කැළැල් අසාමාන්‍ය විදියට තිබෙනවා. ඒ වගේම අවපැහැ ගතියක් පවතිනවා. එවන් ගැටලුකාරී තත්ත්වයකදී මුරුංගා කොළ යුෂ අරගෙන ඒකට දෙහි යුෂත් මිශ්‍ර කරලා ඇල් වතුර බඳුනකට ඒක මිශ්‍ර කරලා එයින් මුහුණ සෝදන්න. දිනපතා උදේ මේ මිශ්‍රණයෙන් මුහුණ සෝදනවා නම් පැහැදිලි වෙනසක් සහ සෞම්‍ය බවක් ඔබගේ මුහුණේ ඇති වේවි. හන්දිපත් ඉදිමුම හන්දිපත් රුදාව වගේ බාහිර තැළුම් වේදනාවලටත් මුරුංගාවලින් හදන හොඳ ඔෟෂධයක් මම කියන්නම්. එහි නම මුරුංගාදීලේපය. මේ ඔෟෂධය බාහිර රෝගී අංශයෙන් ලබා ගන්නත් පුළුවන්. නිවෙසේදීම සාදාගන්න හැටි වැදගත්. එනිසා මම කියන්නම්. ලුණු වරණු පොතු, අමු කහ සමව අරගෙන මුරුංගා පොතු යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරන්න. (අමු මුරුංගා පොතු තළා යුෂ ගන්න) සියුම් ලෙස අඹරා ගත් ඔෟෂධය අරගෙන තැළුම්, වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න. වේල් කිහිපයක් ආලේප කළොත් හොඳ සුවයක් අත්විඳින්න පුළුවන්කමක් තිබෙනවා.
තවත් විශේෂ කාරණාවක් තමයි මුරුංගා කියන්නේ දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඔෟෂධයක්. පෙර සඳහන් කළ විෂක් ශරීර ගත වුණ පුද්ගලයකුට මුරුංගා පොතු දෙහි ඇඹුලින් අඹරා සත්ත්ව දෂ්ටනයට ලක් වුණු තැන ආලේප කරන්න. ඒකට විෂ මැරීමක් සිදු වෙනවා.
සමහර අයට උදේ කාලෙදි සැන්දෑ කාලෙදි සෙම හට ගන්නවා. ඒ තත්ත්වයෙන් අත්මිදිලා නිරෝගී සුවයක් ලබන්න මුරුංගා මුලේ පොත්ත කොටලා මිරිකලා ගත් යුෂට බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැඳි 1 ගාණේ මිශ්‍ර කර මී පැණි තේ හැන්දක් ඒකට එක් කරලා දින 10ක් ඒ ද්‍රාවණය පානය කරන්න. සෙම තත්ත්වය දුරු වෙලා යාවි."
අධික තරබාරු තත්ත්වයෙන් අත්මිදීමටද ළපටි මුරුංගා ඇට කෂායක් ලෙස මී පැණි හා පානය කිරීම මඟින් හැකි වන බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"ඒ විතරක්ම නොවෙයි. සැරව ගලන තුවාල පිරිසුදු කරලා ඉක්මනින් සුවකර ගන්නත් මුරුංගාවලින් පුළුවන්. ඔබ කළ යුත්තේ මුරුංගා කොළ ටිකක් අරගෙන තල තෙල්, එළඟි තෙල් ස්වල්පය බැගින් එයට මිශ්‍රකර අඹරා තුවාලයේ ආලේප කිරීම පමණයි. දින කිහිපයක් මේ ක්‍රියාව කළොත් ඔබට පැසවූ තුවාලයකට වුණත් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්.
එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත හොඳ ඔෟෂධයක් මුරුංගා. නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශි්‍රත රෝගවලටත් හෘදය ආශි්‍රත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්, මුත්‍රාශ්‍රය ආශි්‍රත රෝග රැසකටත් මුරුංගා හොඳ ඔෟෂධීය ගුණ සපිරි ශාකයක් කියලා. ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට පුළුවන් කියලා අලුත්ම පර්යේෂණයකින් තහවුරු වුණා. මුරුංගා නමැති ඔෟෂධය නිරන්තරයෙන්ම ඔබ ආහාරයක් වශයෙන් හෝ ගන්නවා නම් කොලෙස්ටරෝල් අඩු වීමටත් ඇඟේ සීනි ප්‍රමාණය අඩු වීමටත් ඒක හොඳ ක්‍රමවේදයක්. දෛනික ආහාර වේලකට මුරුංගා මැල්ලුමක් වෑංජනයක් අන්තර්ගත කර ගන්නවා නම් කිසිම ලෙඩක් පීඩාවක් ඔබට ඇති වෙන්නෙ නෑ".
සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමටද මුරුංගා කරලේ ඇති ඇට භාවිත කිරීම මඟින් හෙළිවන්නේද මෙම අද්විතීය ශාකයෙහි පවතින වීෂ බීජ නාශක ගුණය නේද?".